ශ්රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමට පැනවූ තාවකාලික වාරණය ඉවත් කිරීමට ශ්‍රී ලංකා වේලාවෙන් අද (15/03) මධ්‍යහනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝගයක් නිකුත් කර ඇත.
ෆේස්බුක් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග අද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි සියලු තීරණ මේ වන විට ජපාන සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත යවා විමසා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම සාකච්ඡා වලදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අනිසි ලෙස භාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අඩාල කිරීම සහ මහජන ආරක්ෂාව කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් කලහකාරී සහ අන්තවාදී පිරිස් විසින් සමාජ මාධ්‍ය ජාල අවභාවිත කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ඉදිරිපත් කළ කරුණු සළකා බලා එවැනි ක්‍රියා නියාමනය කිරීම සඳහා ක‍්‍රමවේද සහ ආයතනික ව්‍යුවහයන් ස්ථාපනය කිරීමට ෆෙස්බුක් බලධාරීහු එකඟ වූ බව වාර්තා වේ.
එහිදී, රජය, සිවිල් වැසියන් හෝ අපරාධ පරීක්ෂණ ආයතනයන් විසින් කෙරෙන කරුණු දැක්වීම් පිළිබඳව කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීමට හා ක‍්‍රියා කිරීමට එකඟතාව පළ විය.
ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිතා කරමින් වෛරී ප‍්‍රකාශ පතුරුවා හැරීම ශ‍්‍රී ලංකා නීතිය යටතේ වරදක් වන අතර එවන් කාර්යයන්හි නිරත වන ඕනෑම කෙනෙකු පිළිබඳව ෆෙස්බුක්හි ප‍්‍රජා සම්මතයන් අනුව කටයුතු කිරීමට සමාගම එකඟ විය.
කෙසේ වෙතත් වෛරී ප්‍රකාශ සීමා කිරීමේ මුවාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රකාශද සීමා කිරීමට රජය සැරසෙන බව කියමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ෆේස්බුක් ආයතනයට ලිපියක් යවා ඇති බවද වාර්තා වේ.
ෆේස්බුක් සීමා කිරීමට යම් තීරනයක් ගන්නේ නම් ඊට පෙර ලංකාවේ සාමාජ මාධ්‍ය විශ්ලේෂකයක් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන් එම ලිපිය මගින් ඉල්ලා ඇත.

