Highlights
- ඔස්ට්‍රේලියාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයින් හට රජයේ සුභසාධන ලබාගැනීමට දිගු කලක් බලා සිටීමට සිදුවීම ගැන විවේචන
- ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් ලබාගැනීමේ ප්‍රමාණය වැඩිවෙයි
- උතුරු ක්වින්ස්ලන්තයේ සංචාරක ක්ෂේස්ත්‍රයට අදාල විශාල රැකියා පුරප්පාඩුවක්
- ඕස්ට්‍රේලියාවේ සාපරාධී අපරාධ ක්‍රියාවක වගකීම දැරීමේ වයස් සීමාව ඉහල දමන්නැයි දැඩි ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවෙන් එක දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී
- එක් දිනක් තුලදී වාර්තා වුනු ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වෙයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති නිතරඟයෙන් පත්වෙයි
ඔස්ට්‍රේලියාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයින් හට රජයේ සුභසාධන ලබාගැනීමට දිගු කලක් බලා සිටීමට සිදුවීම ගැන විවේචන
ස්ථිර පුරවැසිභාවය ලබා ඔස්ට්‍රේලියාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයින් හට රජයේ සුභසාධන ගෙවීම් ලබාගැනීම සඳහා වසර 4ක් බලා සිටීමට සිදුවීම පිළිබඳව වන මෙවර අයවැය මඟින් ගෙන ආ යෝජනාව තවදුරටත් විවේචනයට ලක්වෙයි.
ඩොලර් මිලියන 671 ක් වටිනා අයවැය ඉතිරිකිරීමේ සැලසුමක කොටසක් ලෙස මෙවර අයවැය මඟින් මෙම යෝජනාව ගෙන එන ලදි. ඒ අනුව නව සංක්‍රමණිකයින්ට Family Tax Benefits, Parental Leave, සහ Carers Pay ඇතුළු රජයේ සුභසාධන ගෙවීම් සඳහා ප්‍රවේශ වීමට වසර හතරක් බලා සිටීමට සිදුවනු ඇත.
සංක්‍රමණික හා සමාජ සුභසාධන උපදේශකයින් රජයේ මෙම පියවර දැඩි ලෙස විවේචනය කොට සිටී. ඔවුන් පවසන්නේ, එය ඡන්දය දිය නොහැකි පුද්ගලයින්ගෙන් මුදල් උදුරා ගැනීමක් බවයි.
නමුත් භාණ්ඩාගාරික, අමාත්‍ය Josh Frydenberg පවසන්නේ එම නව සංක්‍රමණිකයින්ට රජයේ සුභසාදන වලට සමාන ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව උදාකරලීමට රජය සූදානම් බවයි.
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් ලබාගැනීමේ ප්‍රමාණය වැඩිවෙයි
එක දිනකදී 10,000 කට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් Covid 19 එන්නත ලබාගැනීම තුලින් ඕස්ට්‍රේලියාව කොරෝනා වයිරස් එන්නත් ලබාගැනීමේ නව දෛනික වාර්තාවක් පිහිටුවා ඇති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි.
පසුගිය පැය 24 තුළ ඕස්ට්‍රේලියානුවන් 95,000 කට වැඩි පිරිසකට COVID-19 එන්නත ලබා දී ඇත. එසේම මේ වන විට ලබා දී ඇති මුළු එන්නත් ප්‍රමාණය මිලියන 3.28 කට ආසන්න වේ.
සෞඛ්‍ය අමාත් ග්‍රෙග් හන්ට් පවසන්නේ මෙරට කොවිඩ් එන්නත්කරණය වේගයෙන් වේගයෙන් ඉදිරියට ගමන් කරන බවයි.
මේ අතර, නිව් සවුත් වේල්ස් හෙල්ත් විසින් නිව්කාසල් ප්‍රදේශයේ දෙවන COVID-19 සුවිසල් එන්නත් කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරිම සඳහා ස්ථානයක් සොයමින් සිටී.
උතුරු ක්වින්ස්ලන්තයේ සංචාරක ක්ෂේස්ත්‍රයට අදාල විශාල රැකියා පුරප්පාඩුවක්
ඔස්ට්‍රේලියාව පුරාම සිටින දහස් ගණනක් වන ශ්‍රමිකයින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංචාරක ක්ෂේස්ත්‍රයේ රැකියා සඳහා ගෙන ඒම වෙනුවෙන් ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 7.5 ක ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරයි.
උතුරු ක්වින්ස්ලන්තයේ නැවත පදිංචි වීම සලකා බලන රැකියා අපේක්ෂකයින් සඳහා ජුලි මාසයේදී ඇරඹෙන පැකේජයට ඩොලර් 1,500 ක මුදල් දිරිගැන්වීමක් සහ ගමනා ගමනය සඳහා ඩොලර් 250 ක ප්‍රසාද දීමනාවක් ඇතුළත් වේ.
මෙම පියවර මගින් උතුරු ක්වින්ස්ලන්තයේ සංචාරක ක්ෂේස්ත්‍රයට අදාළ බරපතල සේවක හිඟයට විසඳුම් ලබා දෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී ඇනස්ටේෂියා පලාශේ පවසා සිටී
ඕස්ට්‍රේලියාවේ සාපරාධී අපරාධ ක්‍රියාවක වගකීම දැරීමේ වයස් සීමාව ඉහල දමන්නැයි දැඩි ඉල්ලීමක්
සාපරාධී අපරාධ ක්‍රියාවක වගකීම දැරීමේ වයස් සීමාව, අවුරුදු 10 සිට 14 දක්වා ඉහළ නංවන ලෙස නීති, සෞඛ්‍ය සහ ප්‍රජා සංවිධාන රැසක් නැවතත් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම සිදුකරන කණ්ඩායම් 76 ක් අතර ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය සහ ඕස්ට්‍රේලියානු නීතිඥ සන්ධානය ද සිටී.
සෑම වසරකම, අපරාධ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් සිරගත කරනු ලබන වයස අවුරුදු 14 ට අඩු ළමුන් 600 කට ආසන්න සංඛ්‍යාවකගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය සඳහා හදිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව එම කණ්ඩායම් පවසා සිටිති.
ඕස්ට්‍රේලියාවේ දැනට පවතින නීති අනුව අපරාධ ක්‍රියාවක් සිදු කල අවුරුදු දහය පමණ වයසේ ලමයින් අත්අඩංගුවට ගැනීමට, නිරුවත් කොට සිදුකෙරෙන ශරීර පරීක්ෂාවනට යොමු කිරීම සහ සිර මැදිරිවල රඳවා තැබීමට හැකිවෙයි. මින් 65% ක්ම ඕස්ට්‍රේලියානු ආදිවාසී පසුබිමක් හිමි ළමුන් බවද සඳහන්.
මෙම වයස් ඛාන්ඩය අවුරුදු 14 දක්වා ඉහල නැංවීමට රජයෙන් ඉල්ලීම් සිදුකරන කණ්ඩායම් පවසන්නේ, මෙම වයස අවුරුදු 10 සීමාව මානව හිමිකම් නීති වලට පටහැනි සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් තොර බවයි.
ශ්‍රී ලංකාවෙන් එක දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී
දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,051 කි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව 1,50,771 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේදී වාර්තා වුනු කොවිඩ් මරණ සංඛ්‍යාව 36 කි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1051 ක් දක්වා ඉහල නැග ඇත.
වත්මන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි මස 21 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය අතරවාරයේදී කිසිදු ගුවන් මගීයෙකුට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටී.
කෙසේ වෙතත් මෙම කාල සීමාවේදී ඕනෑම අයෙකුට රටින් පිටව යාමට කිසිඳු බාධාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සම්බන්ද නීති රෙගුලාසි ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද ඊයේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයෙදී ශ්‍රී ලංකා අගමැතිවරයා ප්‍රකාශ කොට සිටියේය.
එසේම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා එහිදී සඳහන් කොට සිටියේය.
දිනක් තුලදී වාර්තා වුනු ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා එක දිනකදී වාර්තා වුනු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා විය. එම සංඛ්‍යාව 4500කට අධික සංඛ්‍යාවක් බව වාර්තා වේ.
මිට ප්‍රථම එක දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුනු අතර එය 4,475 කි.
එසේම මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 283,248කි. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වුනු මුළු කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය මිලියන 25 කට අධික වන අතර එය දෙවැනි වන්නේ ඇමරිකාවට පමණි.
ඇමරිකාව එපා කිවුවත් පලස්තීනයට ගහනවා - ඊශ්‍රායල අගමැති කියයි
පලස්තීනයට එල්ල කරන ගුවන් ප්‍රහාර අවම කරන ලෙසට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කල ඉල්ලීම නොසලකා තම ඉලක්කය සපුරා ගන්න තෙක් නොනවත්වා පලස්තීනයට ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. තවද, ඔහු පවසා සිටියේ තමන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ සහයෝගය අගය කරන නමුත් ඊශ්‍රායල ජනතාවට සාමය සහ ආරක්ෂාව තහවුරු කරන තෙක් පලස්තීනයට එරෙහි ප්‍රහාර නතර නොකරන බවයි.
ඊශ්‍රායලය මේ වන විට පලස්තීන හමාස් සංවිධානයට අයත් උමං මාර්ග ඉලක්ක කර දැඩි ගුවන් ප්‍රහාර අරඹා තිබේ.
ඊශ්‍රායල පලස්තීන ගැටුම හේතුවෙන් පසුගිය දින 10 තුලදී පලස්තීන ජාතිකයින් 200 කට අධික පිරිසක් සහ ඊශ්‍රායල ජාතිකයින් 10 කට ආසන්න පිරිසක් මියගොස් ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති නිතරඟයෙන් පත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දී තිබූ කේ. මතිවානන්, උප සභාපති ධූරය සඳහා නාම යෝජනා භාර දී තිබූ බන්දුල වර්ණපුර සහ ලේකම් ධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංග මහත්වරුන් ඉල්ලා අස්වීමත් සමග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස ශම්මි සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම තනි සටනකින් ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා අද දිනයේදී (20 May) යළිත් පත් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලියාපදිංචි ඡන්ද 144ක් ඇති අතර, පළාත් ක්‍රිකට් සංගම් 8ක්, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 44ක්, පරිපාලන ක්‍රීඩා සමාජ 58ක්, අනුබද්ධිත ක්‍රීඩා සමාජ 22ක් සහ ක්‍රිකට් සංගම් 12ක් විසින් ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - මැයි මස 20 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකිය
READ MORE

