

Exclusive
Published
Updated
Kakadu Plum කියන්නේ ඔස්ට්‍රේලියාවටම ආවේනික වූ ශාකයක්.
දත්ත වාර්තාවලට අනුව වයඹ දිග ඔස්ට්‍රේලියාවේ සිට නැගෙනහිර Arnhem භුමිය දක්වා නිවර්තන වනාන්තර පුරා මෙම ශාක පැතිරී තිබෙනවා.
ශතවර්ෂ ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ ඇබෝර්ජීනියානු වැසියන් විසින් Kakadu Plum කැලෑ පළතුරක් ලෙස භාවිතයට ගනිමින් සිටින අතර මෙය සාම්ප්‍රදායික ඖෂධයක් ලෙසින්ද භාවිතා කරමින් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට ආවේණික ශාකයක් වන මෙම Kakadu plum ශාකය ආශ්‍රිතව නැනෝ තාක්ෂණය යොදාගනිමින් පිළිකා සෛල විනාශ කිරීම සඳහා පර්යේෂණයක් කරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් මේ අතර SBS සිංහල ගුවන් විදුලියට හමුවුණා.
ඩාවින් නුවර Charles Darwin විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයෙන් ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් ලෙස පර්යේෂණ කරමින් සිටින ඇය නමින් හංසි අල්විස්.

"Kakadu Plum ශාකයේ ගෙඩිවල සහ පත්‍රවල තියෙන නිස්සාරණය සිල්වර් සහ ගෝල්ඩ් අයන ද්‍රාවන සමග මිශ්‍ර කරලා සිල්වර් - ගෝල්ඩ් nanoparticles නිර්මාණය කිරීම තමයි මගේ පර්යේෂණයේ පළමු පියවර ලෙස මම කරන්නේ." යනුවෙන් හංසි SBS සිංහල ගුවන් විදුලියට සිය හඬ අවදි කළා.
පර්යේෂණයේ දෙවැනි පියවර ලෙස එම නිර්මාණය කරන nanoparticles වල පිළිකා මර්දන, බැක්ටීරියා මර්දන ගුණ ගැන හංසි පර්යේෂණය කිරීමට සූදානම්.
අනාගතයේදී මෙය පිළිකා මර්දනයට සහ බැක්ටීරියා මර්දනයට වැනි ඖෂධයක් ලෙස භාවිත කරන්නේ කෙසේදැයි කියා සොයා ගැනීම එහි අරමුණ වෙනවා.
එහිදී පිළිකා සෛල සමග විද්‍යාගාර මට්ටමේ පර්යේෂණ සිදු කිරීමට හංසි සූදානම් වෙනවා.
———————————————————————————
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නැනෝ තාක්ෂණය යොදාගනිමින් විවිධ ඖෂධ නිපදවා තිබුණත්, නිපදවීමට පර්යේෂණ කරමින් සිටියත් Kakadu Plum ශාකයට නැනෝ තාක්ෂණය යොදාගනිමින් මීට පෙර කිසිවෙකුත් පර්යේෂණයක් සිදුකර නැති බවයි හංසි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ.
හංසි පැවසූ ආකාරයට Kakadu Plumවල බැක්ටීරියා මර්දන ගුණ ඇති බවට මීට පෙර සිදුකළ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.
ඒ හරහා ගොස් Kakadu Plumවල බලපෑම ඇත්තේ කුමන බැක්ටීරියාවලටද කුමන ප්‍රමාණවලින් ඒවා බලපානවද කියා පර්යේෂණය කිරීමටත් හංසිගේ අපේක්ෂාවක් තිබෙනවා.
එහි අවසාන ප්‍රතිඵලය ලෙස Kakadu Plumවල නිස්සාරණය ආශ්‍රිතව නිර්මාණය කළ nanoparticles යොදාගනිමින් තුවාල සනීප කිරීම සඳහා wound dressing එකක් නිර්මාණය කිරීමට මූලික අඩිතාලම දැමීමටත් හංසිගේ තවත් එක් ලොකු බලාපොරොත්තුවක් බව ඇය අපිට පැවසුවා.

හංසිගේ මේ පර්යේෂණය සඳහා Kakadu Plum ශාකය තෝරාගැනීමට හේතු කිහිපයක්ම තිබෙනවා.
Northern Territory, බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්තයේ උතුරු ප්‍රදේශයේ වැවෙන මෙම ශාකය ඔස්ට්‍රේලියාවට ආවේනික ශාකයක් වීම එක් විශේෂත්වයක්.
ලංකාවේ වෙරළු ගෙඩියකට සමාන මෙම Kakadu Plum ශාකයේ ගෙඩිය ඇබෝර්ජීනියානු වැසියන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පළතුරක් ලෙස ආහාරයට ගෙන තිබීම අනෙක් සුවිශේෂී කරුණ වූ බව හංසි පැවසුවා.
එම Kakadu Plum ශාකයේ ගෙඩියේ විටමින් C තිබෙන බවට දැනට සොයාගෙන ඇති බවත් එම ප්‍රමාණය දොඩම් ගෙඩියක ඇති විටමින් C ප්‍රමාණය මෙන් 50 ගුණයක් මෙම Kakadu Plum ශාකයේ ගෙඩියේ ඇති බවත් කියවෙනවා.
ඒවාට අමතරව තවත් ඖෂධීය ගුණ තිබෙන බොහෝ සංයෝග මෙම Kakadu Plum ශාකයේ ගෙඩියේ ඇතැයි සොයාගෙන ඇති බව ද හංසි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
මේ සියල්ලටම අමතරව Kakadu Plum ශාකය ආශ්‍රිත නිෂ්පාදනය කළ නොයෙක් රූප ලාවන්‍ය නිෂ්පාදන සහ යෝගට්, ජෑම් වැනි නිෂ්පාදන අද වන විට වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති බවද ඇය සඳහන් කළා.

දැනට තිබෙන වෙළෙඳපොළ නිෂ්පාදන සඳහා Kakadu Plum ශාකය ලබාදෙන්නේ ඇබෝර්ජීනියානු ජනතාව බව හංසි සඳහන් කළා.
මෙම ශාකය සහ ඇබෝර්ජීනියානු ජනතාව ශත වර්ෂ ගණනාවක පටන් විශාල බැඳීමක් පවතිනවා.
එනිසාම ඔස්ට්‍රේලියාවේ Kakadu Plum ශාකය ආශ්‍රිත වැවීම් සහ නෙලීම් කටයුතු සිදුකරන්නේ ඇබෝර්ජීනියානු ජනතාවයි.
දැනට ඔවුන් කරන්නේ වනාන්තර ආශ්‍රිත හා නිවෙස් ආශ්‍රිතව ඇති Kakadu Plum ශාක එකතු කර අදාළ නිෂ්පාදකයින්ට සැපයීමයි.
නමුත් Kakadu Plum ශාකය ආශ්‍රිතව තමන්ගේ නැනෝ තාක්ෂණික ක්‍රමය යොදා පිළිකා සෛල මර්දනයට අදාළ ඖෂධයක් සොයාගැනීමට හැකිවුවහොත්
ඇබෝර්ජීනියානු ජනතාවට එය විශාල වශයෙන් ආර්ථික සහ සාමාජීය ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි ද හංසි අපේක්ෂා කරනවා.
එසේ බලන කළ හංසිගේ මෙම පර්යේෂණය ශ්‍රී ලාංකිකයින්ටත්, ඔස්ට්‍රේලියානුවන්ටත් ඇබෝර්ජීනියානු ජනතාවටත් එකසේ ආඩම්බර විය හැකි පර්යේෂණයක් ලෙස හැඳින්වීමට හැකියි.

SBS World News