SKIP TO MAIN CONTENT

ලක්ෂ තුනකට වඩා පීඩාවට පත් කළ රටටම විදුලිය විසන්ධි කරන ලංකාවේ නියඟය.

Drought situation in Sri Lanka.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පුද්ගලයන් තුන් ලක්ෂ විසි එක් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එම මධ්‍යස්ථානයේ දත්ත අනුව  පවුල් හැත්තෑපන්දහස් හාරසිය විසිනමයක සාමාජික සාමාජිකාවන්  තුන් ලක්ෂ විසිඑක්දහස් එකසිය අසූ පස් දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් වැඩිම බලපෑම වාර්තාවන්නේ උතුරු පළාතෙනි. ඩෙල්ෆ්, කයිට්ස්, කරෛයිනගර් ඇතුළුව උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවකට බලපාන වියළි කාළගුණය හේතුවෙන් පවුල් දසදහස් එකසිය දහයක සාමාජික සාමාජිකාවන් තිස්තුන්දහස් හාරසිය අසූදෙනෙකු පීඩාවට පත්ව සිටිති.

කලුතර දිස්ත්‍රික්කයේ   කළුතර, බේරුවල, මතුගම, පානදුර සහ දොඩම්ගොඩ ප්‍රදේශවල මිරිදියට, මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් පවුල් හතළිස් පන්දහස් පන්සියයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.  වයඹ පළාතේ පවුල් නවදහස් අටසිය අසූදෙකක සාමාජික සාමාජිකාවන් තිස් පන්දහසක් ද මධ්‍යම පළාතේ පවුල හත්දහස් හත්සිය පනහක සාමාජික සාමාජිකාවන් විසි හත් දහසක් දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටී.

ඇතම් ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සදහා මේ වන විට පළාත් පාලන ආයතන මගින් බවුසර් යොදා ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකරමින් පවතී.

වැසි රහිත දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ද ජල ධාරිතාව ද සැලකිය යුතු අයුරින් පහත බැස  ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සඳහන් කරයි

ඒ අනුව කොත්මලේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවෙන් 28% ක් වන අතර වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 36% කි.

මේ අතර අප්‍රේල් මස 15 වන දින දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුව ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මඩකලපුව, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රිකවල ඇතැම් ප්‍රදේශවලට අද (08) අපර භාගයේදී ඇතැම්විට වැසි ඇතිවිය හැකි යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හි දී අකුණු සහ තද සුළං මගින් ඇතිවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ දිනවල කඩින් කඩ සිදුවන විදුලි කප්පාදුව ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now