SKIP TO MAIN CONTENT

ජාත්‍යන්තර අධිකරණයකට යාමට සිදුවන බවට ජගත් මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්.

UN Human Right Council summit
UN Human Right Council summit Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණමය ක්‍රියාමාර්ගයක් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට සිදුවන බව ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පසුගියදා ඉදිරිපත් කළ මානව හිමිකම් වාර්තාව පිළිබඳ වාචික දේශනයට එක්වෙමින් එහි නියෝජ්‍ය කොමසාරිස්වරිය වන කේට් ගිල්මෝ මේ බව ප්‍රකාශ කළාය.

ලබන වසරේ මාර්තු මාසය වනවිට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක කාලසීමාව අවසන් වන බවත් ඉතිරි කාලසීමාව තුළ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්න පිළිබඳ සැක මතුව ඇති බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළද ප්‍රායෝගික ක්‍රියාදාමය තුළදී ප්‍රමාදවීම් නිරීක්ෂණය වී ඇති බව ජගත් මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස්වරිය වන කේට් ගිල්මෝ වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලු සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණවලට සියලූදෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ පූර්ණ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් කැපවන බවත් විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now