Australian Capital Territory හෙවත් ACT හි සියලුම නගර ඇතුළත මාර්ගවල වේග සීමා පැය 24 පුරාම පැයට කිලෝමීටර් 40 සීමාවට පවත්වාගෙන යායුතු බව මාර්ග ආරක්ෂක පර්යේෂකයින් පෙන්වා දෙයි.
මේ වන විට ACT හි නගර ඇතුළත දිව යන මාර්ග වල වේග සීමාව පවතින්නේ පැයට කිලෝමීටර් 50 සීමාවෙහිය. පසුගිය බදාදා පස්වරුවේ කැන්බරා නුවර පැවති Australasian Road Safety Conference හෙවත් ඔස්ට්‍රේලියානු මාර්ග ආරක්ෂක සමුළුවේදී මේ බව ප්‍රකාශයට පත්විය.
එම පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ ක්වීන්ස්ලන්ත තාක්ෂණික විශ්ව විද්‍යාලයේ Marina Alexander අදාළ සමුළුවේදී කියා සිටියේ පහළ වේග සීමාවන් ජීවිත රැක දෙන බවයි. වේග සීමාව පැයට කිලෝමීටර් 10කින් පහත හෙලීමෙන් ගමන් කාලයෙහි විශාල වෙනසක් නොවෙන නමුත් එමගින් මාර්ග වල ගමන් ගන්නා උදවියගේ ආරක්ෂාව කෙමෙන් කෙමෙන් ඉහළ යන බව ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
පැයට කිලෝමීටර් 50ක වේගයකින් ධාවනය වන මෝටර් රථයක මගියෙකු ගැටීමක් සිදු වුවහොත් එම මගියා මිය යාමේ සම්භාවිතාව 50% - 80% අතර ප්‍රතිශතයක පවතින බව Marina පෙන්වා දෙයි. නමුත් පැයට කිලෝමීටර් 40ක වේගයකින් ධාවනය වන මෝටර් රථයක මගියෙකු ගැටුනහොත් මිය යාමේ සම්භාවිතාව 20% - 30% අතර ප්‍රතිශතයකින් අඩුවන බවද ඇය පෙන්වා දුන්නාය.
“Shared traffic නොහොත් මගීන්, බයිසිකල්කරුවන් සහ රථ ධාවකයින් යන සියලු පාර්ශව පොදුවේ භාවිත කරන මාර්ග වල පැයට කිලෝමීටර් 50ක වේග සීමාව ඉතා භයානකයි. 50 – 60 අතර වේග සීමා වලදී බොහෝ මාරක අනතුරු වාර්තා වෙලා තිබෙනවා.” Marina Alexander වැඩි දුරටත් පැවසුවාය.
නමුත් තම ටෙරිටරි රජය, නගර ඇතුළත වේග සීමාවන් අඩු කිරීමට අපේක්ෂා නොකරන බව ACT හි මාර්ග ආරක්ෂක අමාත්‍ය Shane Rattenbury පවසා තිබේ. දැනට පවතින අවම වේග සීමාවන් පාසැල් සහ වෙළෙඳ මධ්‍යස්ථාන (shopping centres) ආසන්නයේ පනවා ඇති බවත් එය හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු පැවසුවේය.
මේ අතර ACT ටෙරිටරි රජය පසුගිය බදාදා නවතම වෙබ් අඩවියක්ද එළි දැක්වීය. මෙම වෙබ් අඩවිය ඔස්සේ කැන්බරා වැසියන් හට ජංගම වේග සීමා කැමරා (Mobile Speed Cameras) පිහිටවිය යුතු මාර්ග මොනවාදැයි නිර්දේශ කිරීමට අවස්ථාව සලසා තිබේ.
මෙම වෙබ් අඩවිය මගින් මගීන්ගේ ප්‍රතිචාරද එක් රැස් කිරීමට අපේක්ෂා කරන බව ACT ටෙරිටරි රජය නිවේදනය කළේය.
අදාළ නව වෙබ් අඩවියට https://www.accesscanberra.act.gov.au/app/answers/detail/a_id/3010/ යන ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය.

