රහස්‍ය වචනය අමතක වූ බව කී ඇලෝෂියස්ගේ ඇපල් ගිණුමේ දත්ත ඔහුගේ බිරිඳ මකන්න තැත් කළ බවට සැකයක්.

Aloysius’s apple account accessed using his wife’s mobile

Source: www.colombotelegraph.com

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ඔහුගේ ජංගම දුරකථන අංකයට සම්බන්ධ ඇපල් ගිණුමේ රහස්‍ය අංකය අමතක බව දිගින් දිගටම බැඳුම්කර කොමිසමට පවසන අතරේ ඔහුගේ ඇපල් ගිණුමට පසුගිය පැය 48 ඇතුළත සිංගප්පූරු ජංගම දුරකථන අංකයක්‌ සහිත ඔහුගේ බිරිඳ වන අංජලී මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථනය හරහා ඇතුල්වී ඇති බව වාර්තා වේ.

මේ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට ඊයේ (01/08) හෙළි කළේය.

අදාළ රහස්‍ය අංකය අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට මතක නැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඉහත කී සිදුවීමත් සමග නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කර ඇති බවක් පෙනීයන බවත් එසේ අසත්‍ය ප්‍රකාශ කරනවා නම් ඊට එරෙහිව නීතියට අනුව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇලෝෂියස්‌ මහතා එම ගිණුමේ රහස්‍ය අංකය දන්නා බවත් එසේ නැත්නම් ඔහුගේ බිරිඳගේ දුරකථනය හරහා එම ලයිව් ඇපල් ගිණුමට ප්‍රවේශ විය නොහැකි බවද කෝදාගොඩ මහතා කොමිසමට කීවේය.

පසුගිය දින දහයක්‌ තිස්‌සේ එම ඇපල් ගිණුමේ රහස්‍ය අංකය ඉල්ලා සිටියත් තවමත් එය විමර්ශන අංශවලට ඇලෝෂියස්‌ මහතා විසින් ලබාදී නැති බවද කෝදාගොඩ මහතා කොමිසම හමුවේ පැවසුවේය.

මේ අනුව අර්ජුන ඇලෝෂියස්‌ මහතාට ඔහුගේ ඇපල් ගිණුම භාවිතා නොකරන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ කොමිසමෙන් ඉල්ලීමක්‌ කළේය.

එසේ යම් හෙයකින් එම ඇපල් ගිණුම භාවිතා කරනවා නම් එසේ කරන්නේ දත්ත මැකීමේ අරමුණින් පමණක්‌ බවද කෝදාගොඩ මහතා කොමිසමට පෙන්වා දුන් අතර ඒ අනුව එහි අවදානමක්‌ ඇතැයි ද කීවේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයකු හෝ එම ඇපල් ගිණුමේ ඇති දත්ත හෝ විස්‌තරවලට ප්‍රවේශවීම තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එහිදී කොමිසමෙන් ඉල්ලා සිටියේය.

නීතියේ ප්‍රතිපාදන සලකා බලා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක්‌ කරන බව විනිසුරු ජයවර්ධන ප්‍රකාශ කළේය.


2 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now