ඔස්ට්‍රේලියාවේ නිරන්තරයෙන් භූමිකම්පා ඇති වෙනවද? මෙල්බර්න් භූ කම්පනයෙන් පසුව ඔබ දැනගත යුතු දේවල් මෙන්න

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම වැදගත් භූමිකම්පා සිදුවීම 1988 දී Northern Territory සිදුවිය.

Group of people standing on street around building debris

An earthquake measuring 5.8-6.0 on the Richter scale hit Victoria in 2021. Source: AAP / SOPA Images/Sipa USA

මෙල්බර්න් නගරය ආශ්‍රිතව පසුගිය මැයි 28 වනදා රාත්‍රී 11.41 ට පමණ රික්ටර් මාපක 3.8 ක් ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

Sunbury හි උතුරු තදාසන්න ප්‍රදේශයේ භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටි බව ඔස්ට්‍රේලියාවේ භූ විද්‍යා කාර්යාංශය පවසයි.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 3 ක් ගැඹුරින් භූමිකම්පාවේ කේන්ද්‍රය පැවති බවද ඔවුහු පවසති.

මෙම භූ කම්පනය මෙල්බර්න් නගරය පුරා පුළුල් ලෙස දැනී ඇති අතර, තමන්ගේ නිවෙස් සෙලවෙන බව දැනුණු පුද්ගලයින් ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල වාර්තා කරන්නට පෙළඹී තිබුණි.

ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා ඇතිවීම සුලභ නොවූවත් මෑත වසරවලදී සැලකිය යුතු භූ කම්පන කිහිපයක් සිදුවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා බහුලව සිදු වේද යන්න පිළිබඳ ඇතැමුන් කල්පනා කරනවා විය හැකිය.

ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා වඩාත් සුලභ වෙමින් පවතීද?

ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා බොහෝ විට සිදුවන්නේ නැති නමුත් මෑත වසරවලදී භූ කම්පන කිහිපයක් සිදුවී තිබේ.

2021 දී, වික්ටෝරියා ප්‍රාන්තයට රිච්ටර් මාපකයේ 5.8 සහ 4.8 ක භූමිකම්පා ඇති වූ අතර, එම වසරේම බටහිර ඔස්ට්‍රේලියාවේ රිච්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් හටගත්තේය.

ඉන් අනතුරුව 2022 වසරේ බටහිර ඔස්ට්‍රේලියාවේ රිච්ටර් මාපක 4.8 ක භූමිකම්පාවක් සිදු වූ අතර මේ වසරේ මාර්තු මාසයේදී දකුණු ඔස්ට්‍රේලියාවේ රිච්ටර් මාපක 4.7 ක භූමිකම්පාවක් ඇති විය.

මෑත වසරවලදී ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා නිතර නිතර සිදු වූ නමුත්, මෙම වැඩිවීම තවමත් දිගුකාලීන රටාවන් තුළ පවතින බව භූකම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ Adam Pascale, SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

පසුගිය වසර 10 ට සාපේක්ෂව විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවට වැඩිපුර භූමිකම්පා දැනී ඇති බවද ඔහු පැවසීය.

"නමුත් අපි එය භූ විද්‍යාත්මක කාල පරිමාණයෙන් බලන විට, මේවා සිදු වන්නේ මෙවැනි භූමිකම්පා සඳහා වන සාමාන්‍ය කාල සීමාවන් තුළයි." යනුවෙන්ද විද්‍යාඥ Adam Pascale පැහැදිලි කළේය.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ භූ කම්පනය වසර 100කට පසු සිදුවූ පළමු රිච්ටර් මාපක හතරේ භූමිකම්පාව වන අතර, එය තවමත් සාමාන්‍ය කාලසටහන් සහ භූමිකම්පා රටා තුළ පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

සෑම වසර 100 කට වරක් මෙල්බර්න් නුවර රිච්ටර් මාපක හතරක භූ කම්පනයක් දැකීමට අපි අපේක්ෂා කරන අතර පසුගිය ඉරිදා එලෙස එකක් සිදුවූ බව ද ඔහු පැවසීය.

"සෑම සතියකම ගිනිකොනදිග ඔස්ට්‍රේලියාවේ භූමිකම්පාවක් සිදුවන අතර සාමාන්‍යයෙන් එහි භූමිකම්පා 30ක් හෝ 40ක් ඇතිවෙනවා, මිනිසුන්ට නොදැනෙන ලෙස සෑම විටම භූමිකම්පා සිදු වන අතර සාමාන්‍යයෙන් සෑම මසකම හෝ ඊට වැඩි කාලයක් තුළ ඉන් එකක් පමණක් මිනිසුන්ට දැනෙනවා," යනුවෙන්ද භූකම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ Adam Pascale, SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.
Graph showing earthquakes in Australia from 2013 to 2023.
Most earthquakes in Australia are of a low magnitude, and are not felt. Source: SBS

භූමිකම්පාවක් ඇති වූ විට ඔබ කළ යුත්තේ කුමක්ද?


භූමිකම්පාවක් ඇති වූ විට, බිමට බැස, ශක්තිමත් ගෘහ භාණ්ඩයක් යටට වී තමාව ආවරණය කරගනිමින් අල්ලාගෙන සිටීම කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවාව (SES) හි උපදෙස් දෙයි.

භූමිකම්පාවක් ඇතිවන විට සුන්බුන් කඩා වැටීමක් සිදුවීමට ඉඩ ඇති නිසා එම අවස්ථාවේදී පිටතට යාම නොකළ යුත්තක් බව භූකම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ Adam Pascale, SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

"බොහෝ මිනිසුන් ඔවුන් මතට වැටෙන සුන්බුන් නිසා තුවාල වෙනවා, එනිසා බිමට බැස මේසයක් වැනි ඝන වස්තුවක් යටට වී තමාව ආවරණය කරගනිමින් සෙලවීම නතර වන තුරු තද යමක් අල්ලාගෙන සිටීම ඉතා වැදගත්," ඔහු පැවසීය.

අසල මේසයක් වැනි දෙයක් නොමැති නම්, ඔබේ දෑතින් ඔබේ මුහුණ සහ හිස වසාගෙන ගොඩනැගිල්ලේ ඇතුළත කොනක වකුටු වී සිටින ලෙස ප්‍රාන්ත හදිසි සේවාව උපදෙස් දෙයි.

රෝද පුටු භාවිතා කරන්නන් තම රෝද පුටුව අගුළු දමා තිරිංග දැමීම, ඔබේ හිස සහ බෙල්ල වසා ගැනීම සහ අල්ලාගෙන සිටීම එහිදී කළ යුතු බවට ඔවුහු උපදෙස් දෙති.

භූමිකම්පාවකදී ඔබ එළිමහනේ සිටින්නේ නම්, ගොඩනැගිලි, වීදි ලාම්පු සහ විදුලි හෝ දුරකතන වයර්වලින් ඈත්ව සිටීමත්, සෙලවීම නතර වන තුරු එළිමහනේ සිටීමත් නිර්දේශ කෙරේ.

භූමිකම්පා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම වැදගත් භූමිකම්පා සිදුවීම 1988 දී Northern Territory සිදුවිය.

රිචට්ර් මාපක 6.2, 6.3 සහ 6.6 ක භූමිකම්පා තුනක් Tennant Creek කලාපයේ ඇතිවීම එම සුවිශේෂී සිදුවීම විය.

වසර 1989 දී, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newcastle රිචට්ර් මාපක 5.4 ක භූමිකම්පාවකට ගොදුරු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 13 දෙනෙකු මිය ගිය ගොස් ඩොලර් බිලියන 4 ක හානියක් සිදු විය.

ඔස්ට්‍රේලියාවේ ඕනෑම තැනක රිචට්ර් මාපක 7.5 ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් ඇතිවිය හැකි බව භූකම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ Adam Pascale, SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.


Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service