ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය 26දා (ජුලි 26) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අතර, තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට, තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 6ක් ලබා සිටියේය.
ධනංජය ද සිල්වා සහ ලක්‍ෂාන් සඳකැන් මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගැනීමද විශේෂ සිදුවීමක්.
මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර, එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 117කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර ශ්‍රී ඉනිම තුල වාර්තා වූ වැඩි ලකුණු ප්‍රමාණය වුයේ ධනංජය ද සිල්වා වාර්තා කල ලකුණු 24යි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Josh Hazlewood සහ Nathan Lyon කඩුලු තුන බැගින් දවගන්නට සමත්විය.
අනතුරුව තම පළමු ඉනිම ආරම්භ කල ඕස්ට්‍රේලියානු කණ්ඩායමටද ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පන්දු යවන ක්‍රීඩක ලක්‍ෂාන් සඳකැන්ගේ සහ රංගන හේරත්ගේ පන්දුවලට මුහුණ දීම අසීරු කාරණයක් වූ අතර, ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 203 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ලක්‍ෂාන් සඳකැන් මෙහිදී පන්දු වාර තුනක් යවා ලකුණු 58ක් ලබාදී කඩුලු 4ක් දවගන්නට සමත් විය. මංගල තරගයකදී චයිනමන් පන්දු යවන්නකු දැක්‌වූ ලොව හොඳම දක්‍ෂතාව ලෙසද සඳකැන්ගේ කඩුලු හතර වාර්තා විය. ඊට පෙර 1935 දී ඕස්ට්‍රේලියානු චයිනමන් පන්දු යවන්නකු වූ Chuck Fleetwood-Smith විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 64 කට දවාගත් කඩුලු හතර පැරණි වාර්තා විය. මීට අමතරව රංගන හේරත්ද කඩුලු 4ක් දවගන්නට සමත් වූ අතර නුවන් ප්‍රදීප් කදුළු දෙකක් දවගන්නට සමත් විය.
මෙම තරගයේදී දෙපිලේම කිසිදු පිතිකරුවකු පළමු ඉනිම තුලදී ලකුණු 50 ඉක්මවා යන්නට සමත් නොවූ අතර, තරගයේ මෙතෙක් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 47 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ Adam Voges විසින් වාර්තා කරන්නට සමත් විය.
තරගය ඊයේ (27දා ) අයහපත් කාලගුණය හේතුවෙන් නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට, ලකුණු 80ක් පිටුපසින් සිටි අතර, මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 300ක් වැනි ලකුණු ප්‍රමාණයක් වාර්තා කළහොත්, ශ්‍රී ලංකාවට තරගය ජයගැනීමේ අවස්ථාවක් ඇති බව තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ලක්‍ෂාන් සඳකැන් සදහන් කළේය.
අද (28දා) තරගය තෙවැනි දිනට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.