මානුස් දූපතේ පිහිටුවා ඇති කලාපීය සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට ඔස්ට්‍රේලියාව සහ පැපුවා නිව් ගිනීයා රාජ්‍යය තීරණය කළ බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සහ පැපුවා නිව් ගිනීයා රාජ්‍යයේ අගමැති Peter O'Neill අතර ඊයේ (17/08) පැවති සාකච්ඡා අතර තුර මානුස් දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරියේදී වසා දැමීමට තීරණය කර තිබේ.
සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ABC මාධ්‍ය ජාලයට පවසා ඇත්තේ මානුස් දූපතේ සිටින සරණාගතයින් කිසිවෙකුටත් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ නොදෙන බවයි. මෙම රැඳවුම් මධ්‍යස්ථානය වසා දමන දිනයක් තවමත් තීරණය කර නොමැති නමුත් එය ඉක්මනින් සිදු කිරීමට දෙරටම අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
මෙවැනි කටයුතු වලදී විධිමත්ව කටයුතු කළ යුතු බවත් මේ වන විට රැඳවියන් ස්ථාපිත කිරීමට තෙවන රටක් සමග සාකච්ඡා පවත්වන බවත් Peter Dutton අනාවරණය කළේය.
මෙම මිනිස් ජාවාරම් හරහා දහස් ගණන් ජනයා මුහුදට බිලි වුවා පමණක් නොව මෙවැනි සරණාගත ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන ගණන් වැයවූ බවත් ඔහු පැවසීය. අනෙක් වැදගත් කරුණ වන්නේ මෙම මධ්‍යස්ථානය වසා දමා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට සැලකිය යුතු කාලයක් වැය වීමය. නමුත් දිගුකාලීනව මෙය ඔස්ට්‍රේලියානු රජයට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ අත් කර දෙන්නක් බව Peter Dutton වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.
පැපුවා නිව් ගිනීයා රාජ්‍යයේ අගමැති Peter O'Neill පවසන්නේ මෙම කටයුත්තට විකල්ප කිහිපයක්ම විසඳුම් ලෙස ඇති බවයි. මෙවැනි බරපතල කටයුතු හදිසියේ අවසන් කිරීමට නොහැකි බව ඔහුද පවසා සිටියේය.
ඔස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Shayne Neumann මෙම ප්‍රශ්නය විසඳීමට තුන්වන රටක විකල්පයක් තිබේදැයි Peter Dutton ගෙන් විමසා තිබේ. ඔහු වැඩි දුරටත් පැවසුවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ අවංක අදහස් සහ තොරතුරු ටර්න්බුල් රජය හෙළි කළ යුතු බවයි.
මානුස් දූපතේ පිහිටුවා ඇති කලාපීය සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය නීති විරෝධී බවට පැපුවා නිව් ගිනීයා රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමග එය වසා දැමීමට එරට අගමැති Peter O'Neill පසුගිය අප්‍රේල් මාසයේදී තීරණය කළේය.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව මේ වනවිට මානුස් දූපතේ සරණාගත මධ්‍යස්ථානයේ වාසය කරන රැඳවියන් පිරිස 854කි.

