Highlights
- කොරෝනා එන්නත ලැබීමෙන් පසු නිව් සවුත් වේල්ස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීම
- කොරෝනා එන්නත්කරන කේන්ද්‍රස්ථාන වලට වඩා පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන මගින් එන්නත් ලබාදීම යෝග්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දීම
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට කොරෝනා එන්නත්කිරීමේ නව මධ්‍යස්ථාන දෙකක්
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කිරීම
- මෙම වසර අවසානයේදී නැවතත් ගුවන් ගමන් ඇරඹීමට ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම් සුදානම් වීම
- ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහල වැටීම
- උත්සව සමයේදීත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් සහ මරණ අඛණ්ඩව වාර්තා වීම
කොරෝනා එන්නත ලැබීමෙන් පසු නිව් සවුත් වේල්ස් කාන්තාවක් ජීවිතක්ෂයට
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 48 හැවිරිදි කාන්තාවකට කොරෝනා එන්නත ලබාගැනීමෙන් දිනකට පසු රුධිරය කැටි ගැසීමක් සිදු වී ඇති අතර ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් මේ වනවිට ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය සහ නිව් සවුත් වේල්ස් Health පරීක්ෂණ අරඹා තිබේ.
මෙම කාන්තාව ලබාගත් එන්නත සම්බන්ධයෙන් සහ කාන්තාවගේ මරණය සහ කොරෝනා එන්නත අතර සම්බන්ධතාවයක් පවතීද යන්න පිළිබඳව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර පරීක්ෂණ අවසන් වනතුරු නිගමනයන්ට එළැඹීමෙන් වලකින ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටී.
AstraZeneca එන්නත ඔස්සේ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින් ගේ රුධිරය කැටිගැසීමකට ලක්වීමේ අවධානමක් පවතින බව මීට පෙර අවස්ථා දෙකකදී තහවුරු විය.
කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් Health හි ප්‍රකාශකවරයකු සඳහන් කොට සිටින්නේ, දෙපාර්තමේන්තුව එක් සිදුවීමක් සම්බන්ධයෙන් අනුමානයකට එළඹීමක් සිදු නොකරන අතර මියගිය කාන්තාවගේ පවුලේ පිරිසට සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.
කොරෝනා එන්නත්කරන කේන්ද්‍රස්ථාන වලට වඩා පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන මගින් එන්නත් ලබාදීම යෝග්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි
ඕස්ට්‍රේලියානු රජය මගින් යෝජිත කොරෝනා එන්නත්කරන කේන්ද්‍රස්ථාන වලට වඩා පවුල් වෛද්‍යවරුන් හරහා එන්නත් ලබාදීම යෝග්‍ය බව වෛද්‍යවරුන් පවසයි.
ඕස්ට්‍රේලියානු රජයේ කොරෝනා වැඩපිළිවෙලේ මීළඟ පියවර ලෙස කොරෝනා එන්නත් ලබාදීම පහසු කිරීමේ අරමුණින් එන්නත් ලබාදීමේ කේන්ද්‍රස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා විය.
මෙම වසර මැද වනවිට මෙම කේන්ද්‍රස්ථාන හරහා වයස අවුරුදු 50ත් 70ත් අතර පිරිසට එන්නත් ලබාදීමේ ඉලක්කයක් පවතින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩපිළිවෙල සඳහා සහාය දක්වන සායන වෛද්‍යවරයකු වන වෛද්‍ය John Deery සඳහන් කොට සිටින්නේ , පවුල් වෛද්‍යවරුන් සිය රෝගීන්ගේ ඉතිහාසය පිළිබඳව දැනුවත් අතර ඒ ඔස්සේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල පහසු වන බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විශාල එන්නත්කරන කේන්ද්‍රස්ථාන වලදී එවැනි වාසි දක්නට නොලැබෙන බවයි
ඔස්ට්‍රේලියාව තුල එන්නත්කරන වැඩසටහන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් එළඹෙන 19 වැනිදා සිට ජාතික කැබිනට් රැස්වීම්, සතියකට දෙවරක් පැවැත්වීම සිදු කිරීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් මෙම වසර අවසානය වන විට සෑම ඔස්ට්‍රේලියනුවකුටම කොරෝනා එන්නත් ලබාදීමේ ඉලක්කය සැපිරීමට නොහැකි වෙතැයි මහජන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටී.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට කොරෝනා එන්නත්කිරීමේ නව මධ්‍යස්ථාන දෙකක්
ජුනි මස මුල වනවිට විශාල කොරෝනා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් විවුර්ත කිරීමට සැලසුම් කොට ඇති බව දකුණු ඕස්ට්‍රේලියා රජය පවසයි.
දකුණු ඇඩිලේඩ් හි Noarlunga සහ උතුරු ඇඩිලේඩ් හි Elizabeth යන ප්‍රදේශ වල මෙලෙස එන්නත්කරන මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත අතර මෙම ස්ථාන මගින් සතියක් තුල Pfizer එන්නත් මාත්‍රා 3,000ක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
මේ අතර වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ලෙස කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් සහාය පලකරන බවයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කරයි
නව ලිහිල් වූ නීතීන්ට අනුව ප්‍රාන්තය තුල සාප්පු සහ ගෘහස්ත ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන අතර සිනමා හල් සහ ක්‍රීඩාංගන වැනි ස්ථාන සඳහා සම්පුර්ණ ධාරිතවයකට පුද්ගලයින් හට අසුන් ගැනීමට හැකි වේ.
බන්නාධනාගාර , වයස්ගත සහ අබාධිත සත්කාරක මධ්‍යස්ථාන වැනි ස්ථාන සඳහා බාහිර පුද්ගලයින්ට යාමටද අවසර හිමිවේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කොට සිටිනේනේ මින් පෙර සිටි නිදහස් ජීවිතයට යම්තාක් දුරකට හෝ නැවතත් යාමට හැකි වන අතර එළඹෙන Anzac දිනය සැමරීමටද ප්‍රාන්ත වැසියන්ට නිදහස හිමි වන බවයි.
මේ අතර ඇතැම් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය නොහැකි බවට ප්‍රාන්තයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් පැමිණිලි කිරීමත් සමග ඔවුනට පෞද්ගලිකව භාවිත කල හැකි ආරක්ෂණ උපකරණ සම්බන්ධයෙන් විගණනයක්ද සිදු කරන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D'Ath සඳහන් කොට සිටී .
මෙම වසර අවසානයේදී නැවතත් ගුවන් ගමන් ඇරඹීමට ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම් සුදානම් වේ
මේ අනුව මෙම වසර අගදී පෙර පැවති පරිදි 100%ක ධාරිතාවයකින් යුතුව නැවතත් සිය ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බව Virgin Australia ගුවන් සමාගම පවසයි.
දේශීය සංචාරක කර්මාන්තය ඉහල නැංවීම සඳහා එම ගුවන් සමාගම Boeing 737-800 ගුවන් යානා 10ක් ද අලුතින් යෙදවීමට නියමිතව තිබේ.
මේ අතර ඇතැම් රටවල් වලට ඇතුල් වීමේදී නිරෝධායන කාලයකට යටත් නොවිය යුතු බව පෙන්වා දෙමින් Qantas ගුවන් සමාගම් ප්‍රධාන විධායක නිලධාරී Alan Joyce සඳහන් කොට සිටින්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර දේශසීමා නීති සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්චා කල ඇරඹිය යුතු බවයි.
ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහලට
ඔස්ට්‍රේලියාව තුල විරැකියා අනුපාතය පහත වැටී ඇති අතර ඒ අනුව ඕස්ට්‍රේලියානු රජයේ ආර්ථික ප්‍රතිසාදන සැලැස්ම ක්‍රියාත්මක වන බව රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට සිටී.
පසුගිය මාසය තුලදී JobKeeper දීමනාව ඉකුත් වීමට පෙර ඔස්ට්‍රේලියාව තුල විරැකියා අනුපාතය 5.6%ක් දක්වා අඩු වී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව කම්කරු සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි.
කෙසේ නමුත් JobKeeper දීමනාව අවසානයේ සිට සිදුව ඇති වෙනස්කම් සම්බන්ධයෙන් මැයි මස 20 වැනි දින නිකුත් කිරීමට නියමිත සංක්‍යාලේඛන තුල අන්තර්ගත වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු රජය සෑම විටම ඕස්ට්‍රේලියානුවන්ට සහාය ලබාදෙන අතර මේ වනවිට රට තුල නව රැකියා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි. එමෙන්ම මෙය ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ප්‍රකෘති තත්වයට පත්වීම පිළිබඳව වන ලක්ෂණයක් වන බවද ඔහු සඳහන් කොට සිටී.
උත්සව සමයේදීත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් සහ මරණ අඛණ්ඩව වාර්තා වෙයි
ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ගණන 95,904 ක් දක්වා ඉහල ගොස් තිබේ.
මෙමගින් වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංක්‍යාව පුද්ගලයින් 26දෙනෙකු ලෙස වාර්තා වේ.
එමෙන්ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව තුල සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 608ක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර පසුගිය ජනවාරි මස 29 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුල Covishield එන්නත් මාත්‍රා 925,242ක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කොට සිටී.
කෙසේ නමුත් පසුගිය 11 වැනිදා සිට ඊයේ දිනය දක්වා කිසිදු එන්නත් ලබාදීමක් සිදුව නොමැති බවද එම ඒකකය සඳහන් කොට සිටී.

