ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ බස් රථයට ඉන්දියානුවෙක් ගලකින් සළකයි.

Australia cricket team bus attacked with rock

Source: Twitter

ඉන්දියාවට එරෙහිවපෙරේදා (10/10) පැවැති 20-20 ක්‍රිකට් තරගය ජයගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය නවාතැන් ගෙන සිටි හෝටලය වෙත යමින් සිටියදී මාර්ගය අසල සිටි අයෙක් විසිකළ ගලක් වැදීමෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගමන් ගන්නා බස් රථයේ වීදුරුවකට හානි සිදුව තිබේ.

උතුරු ඉන්දියාවේ ගුවහටි නගරය අසලදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගෙවී ගිය මාස 2 තුළ මෙවන් සිදුවීමකට මුහුණදුන් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් සැප්තැම්බර් මස බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි හෝටලය වෙත යමින් සිටියදීද ඔවුන් මෙවැනිම සිදුවීමකට මුහුණ දුන්නේය.

“තරගය නිමා වීමෙන් අනතුරුව කණ්ඩායම හෝටලයට පැමිණෙමින් සිටියදී ගලක් වැදීමෙන් බස් රථයේ වීදුරුවක් බිඳීයාම නිසා අපි තැතිගැන්මකට පත් වුණා.” යැයි එම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු  කණ්ඩායමේ ඒරන් ෆින්ච් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණ.

බස් රථයේ වීදුරුව බිඳී ගොස් තිබූ අයුරුද ඔහු සිය ට්විටර් ගිණුමේ පළ කළේය.

බස් රථයේ වීදුරුව බිඳී ගියද ඉන් කිසිදු ක්‍රීඩකයකුට තුවාල සිදුවූයේ නැති බවත්, බස් රථය වෙත පැමිණි ගල ක්‍රිකට් පන්දුවක් පමණ ප්‍රමණයකින් යුත් ගලක් වුවත් ඉන් ක්‍රීඩකයන් මහත් තැතිගැන්මකට පත්වූ බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටීම නිසා දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත 20-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර කණ්ඩායම් දෙකටම තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය හෙට (13/10) හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

Hindustan Times ඇසුරෙනි


2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now