"ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016" - ඕස්ට්‍රේලියානු මැතිවරණ නීතියට අනුව සෙනෙට් සභිකයින් ගේ ධූර කාලය වසර 6ක් හෝ 3ක් ලෙසින් තීරණය වන්නේ කෙසේද?

“Double Dissolution” මැතිවරණයකදී සෙනට් සභාවේ සියලු ආසන සඳහා නියෝජිතයන් තෝරා පත් කරගැනීමට නියමිතය. ඒ අනුව මෙවර සෙනට් සභාවට තේරී පත්වන නියෝජිතයන්ගෙන් හරි අඩකට වසර 6ක කාලයක් හිමිවන අතර ඉතිරි අඩට හිමිවන්නේ වසර 3ක කාලයක් පමණි. වසර 3ක කාලයක් හිමි සෙනට් සභිකයන් 2019 වසරේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී නැවත තරග කළ යුතු වෙයි.

Polling officials and scrutineers counting and rechecking senate ballot papers.

Polling officials and scrutineers counting and rechecking senate ballot papers. Source: AAP

පසුගිය ජූලි 02 වන දින පැවැත්වුණු ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් තවමත් කවුරු ජයග්‍රහණය කළාද යන්න තීරණය වී නොමැත. මෙවර පැවැත්වුණේ “Double Dissolution” මැතිවරණයක් හේතුවෙන් සෙනට් සභාව මෙන්ම පහළ මන්ත්‍රණ සභාව යන ද්විත්වයටම සභිකයන් තෝරා පත් කරගැනීමට නියමිතය. මේ වනවිට ලැබී ඇති ඡන්ද ප්‍රතිපල වලින් කුමණ පක්ෂය රජයක් පිහිටුවන්නේද යන්න පිළිබඳ තවමත් පවතින්නේ ගැටලුවකි. මීට අමතරව සෙනට් සභාවේ වසර 3 සහ 6 යන කාල සඳහා පත්වන්නේ කිනම් සභිකයන්ද යන්න තවත් ගැටළුවක් බවට පත් වී තිබේ.

ඔස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමයට අනුව එක් එක් ප්‍රාන්තය සඳහා සෙනට් සභිකයන් 12 බැගින් තෝරා පත් කරගන්නා අතර territory සඳහා  සෙනට් සභිකයන් 04  බැගින් තෝරා පත් කරගනී. සාමාන්‍ය මැතිවරණ ක්‍රියාවලියේදී සෑම වසර තුනකට වරක්ම වසර හයක ධුර කාලයක් උදෙසා සෙනට් සභිකයන් පත් කර ගැනෙයි. ඒ අනුව සෑම වසර 3කට වරක්ම ඡන්ද දායකයින් පහළ මන්ත්‍රණ සභාවේ සියලු අසුන් සඳහාද සෙනට් සභාවේ හරි අඩක් සඳහාද නියෝජිතයන් තෝරා පත් කරගනියි. ඊළඟට පවත්වනු ලබන මැතිවරණයේදී සෙනට් සභාවේ ඉතිරි අඩ සඳහා  නියෝජිතයන් තෝරා පත් කරගනියි. නමුත් “Double Dissolution” මැතිවරණයකදී සෙනට් සභාවේ සියලු ආසන සඳහා නියෝජිතයන් තෝරා පත් කරගැනීමට නියමිතය. ඒ අනුව මෙවර සෙනට් සභාවට තේරී පත්වන නියෝජිතයන්ගෙන් හරි අඩකට වසර 6ක කාලයක් හිමිවන අතර ඉතිරි අඩට හිමිවන්නේ වසර 3ක කාලයක් පමණි. වසර 3ක කාලයක් හිමි සෙනට් සභිකයන් 2019 වසරේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී නැවත තරග කළ යුතු වෙයි.

සාමාන්‍ය මැතිවරණ ක්‍රියාවලියකදී සෙනට් සභිකයෙකු තෝරා පත්කරගැනීමට ඡන්ද ප්‍රමාණයෙන් 14%ක ප්‍රතිශතයක් හෝ අදාළ කෝටා ප්‍රමාණය ලබාගත යුතුය. නමුත් “Double Dissolution” මැතිවරණයකදී එම ප්‍රමාණය පහළ අගයක් ගනී. ඒ අනුව එය 7% ක ප්‍රතිශතයක් බවට පත් වෙයි. මේ හේතුවෙන් සුළු පක්ෂ වල අපේක්ෂකයන් හට සෙනට් සභාවට තේරී පත්වීමට වැඩි වාසි සැලසෙයි. One Nation’s පක්ෂයේ Pauline Hanson සහ Justice පක්ෂයේ Derryn Hinch මෙවර සෙනට් සභාවට තේරී පත්වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වන්නේ මෙම හේතුව නිසාවෙනි.

කවුරුන් තෝරනවාද යන්න කවුරුන් තීරණය කරයිද?

වසර 6ක ධුර කාලයක් සඳහා කුමණ නියෝජිතයන්ද වසර 3ක ධුර කාලයක් සඳහා කුමණ නියෝජිතයන්ද යන්න පත් කිරීම තීරණය කිරීමට ඇති අයිතිය ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව විසින්  සෙනට් සභාවට හිමි කර දී තිබේ. නමුත් පත් කිරීමේ ක්‍රියා පිළිවෙල පිළිබඳ පැහැදිලිව සඳහන් නොවෙයි. ඇඩිලෙයිඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්ලෙම් මැකින්ටයර් SBS මාධ්‍ය ජාලයට පවසා සිටියේ එවැනි ක්‍රමවේදයක් අත් හදා බලා ඇති බවය. ඔහු පවසන අන්දමට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම එක් එක් ප්‍රන්තයකින් ජයග්‍රහණය කළ නියෝජිතයන් 12 දෙනා බැගින් කැඳවා ප්‍රමුඛව තේරී පත් වූ සය දෙනා සහ ඉන් පසු තේරී පත්වූ සය දෙන යනුවෙන් වර්ග කිරීමක් සිදු කිරීමට අවස්ථාව තිබේ. ඒ අනුව එක් එක් ප්‍රාන්තයෙන් ප්‍රමුඛව තේරී පත් වූ සය දෙනා වසර 6ක් සඳහාද සෙසු නියෝජිතයන් වසර 3ක් සඳහාද සෙනට් සභාවට තෝරා පත් කරගනු ඇත.

නව සෙනට් සභිකයන් තේරීමේ නීතිය සිදු කළ හැකි වෙනස්කම්

සෙනට් සභිකයන් තෝරා පත් කරගැනීමේ නව ඡන්ද ක්‍රමය අනුව ඡන්ද දායකයන් හට තම මනාපය අනුව සෙනට් සභිකයන් හට ඡනදය ප්‍රකාශ කිරීමට මෙවර හැකියාව ලැබුණි. ඒ නිසාවෙන්ම මෙවර සෙනට් ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට වැඩි කාලයක් ගතවනු ඇතැයි මහාචාර්ය ක්ලෙම් මැකින්ටයර් මත පළ කරයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ මෙවර සියලු පක්ෂ වලට “How to Vote Card” ඡන්ද පත්‍රිකාව මත තම බලාපොරොත්තු තබාගැනීමට සිදුවන බවය. නමුත් සියලු ඡන්ද දායකයින් එම පත්‍රිකාව නිසි පරිදි අනුගමනය නොකර ඇති බවටද මහචාර්යවරයා සැක පළ කරයි. “ඔබ ඡන්ද 100,000 ක් ලබා ගත්තත් ඉන් 60,000ක් ඡන්ද පත්‍රිකාවේ නීති නිසි පරිදි අනුගමනය කරලා ඇති. ඉතිරි 40,000 එහෙම නැතුව ඇති.” යනුවෙන් මහචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේය.

සෙනට් සභිකයෙකුට වසර හයක ධුර කාලයක් හිමි නොවුනහොත් නඩු දැමීමට හැකිද?

මෙවර මැතිවරණයෙන් වික්ටෝරියානු ප්‍රාන්තය උදෙසා Justice පක්ෂයේ Derryn Hinch සෙනට් සභාවට පත් වීමට වැඩි ඉඩ කඩක් තිබෙන බව වාර්තා වෙයි. තමන් සෙනට් සභාවට තේරී පත්වී වසර හයක ධුර කාලයක් නොලැබුණහොත් තමන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඔහු පවසා තිබේ. කෙසේ නමුත් ඇඩිලෙයිඩ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සභාපති මෙන්ම දකුණු ඔස්ට්‍රේලියාවේ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ජෝන් විලියම්ස් පවසන්නේ එවැනි පැමිණිල්ලක් පැමිණියහොත් එය නොසලකා හැරීමට වැඩි ඉඩ කඩක් ඇති බවය.

සෙනට් සභිකයන්ට ධුර කාල දෙකක් කුමකටද?

මැතිවරණයකින් පසුව නව රජයක් යටතේ සිදුවන හදිසි දේශපාලනික සහ පරිපාලන වෙනස්වීම් අවම කර ගැනීම උදෙසා මෙලෙස සෙනට් සභිකයන් හට ධුර කාල දෙකක් නීති ගත කර ඇති බව ඇඩිලෙයිඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්ලෙම් මැකින්ටයර් පවසයි. නව රජයක් යටතේ පැරණි සෙනට් සභාවේ හරි අඩක් ඉතිරි කිරීමෙන් නව පාර්ලිමේන්තුවේ රැඩිකල් තීන්දු වලට යම් සංයමයක් ඇති කිරීමට අවස්ථාව සැලසෙන බවද හෙතෙම පැවසුවේය. නමුත් වර්තමානය වන විට මෙම ක්‍රමය රටට අවශ්‍ය නොවන බවද රටෙහි ව්‍යවස්ථාවෙහි එය සඳහන් වීම නිසා එම ක්‍රමය අනුගමනය කළ යුතු බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේය.


4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now