Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රුධිර කැටිගැසීම් වාර්තා වුනත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන විශ්වාස බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ කියයි: මාර්තු 18 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

WA Police Commissioner Chris Dawson receives the vaccine in Perth
Bis 10. März sind erst knapp über 100,000 Australier gegen COVID-19 geimpft worden. Hier: Der Polizeichef von Westaustralien, Chris Dawson in Perth. Source: AAP

Highlights

  • ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව පිළිබඳව දිගටම විශ්වාසය තබන බව ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය අංශය පවසා සිටී.
  • ත්‍රස්ත ක්‍රියාවක් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත මෙල්බර්න් හි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරේ.
  • කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට ඉඩ සලසා තිබූ රජයේ වෙබ් අඩවිය අකර්මන්‍ය වෙයි
  • හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට පත්වෙයි.
  • මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත චීන බලධාරීන් පිරිසකට සම්භාදක පැනවීමට යුරෝපා සංගමය තීරණය කරයි.
  • ඉල්ලා අස්වුණු චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීමට සැරසෙයි

 ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව පිළිබඳව දිගටම විශ්වාසය තබන බව ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය අංශය පවසා සිටී

යුරෝපයේ ඇතැම් රටවල් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත පිළිබඳව විවිද මතවලට එළඹ සිටියද  ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව පිළිබඳව දිගටම විශ්වාසය තබන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටී.

එන්නත ලබාදුන් පුද්ගලයින්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් යුරෝපා රටවල් 17 ක් පමණ එන්නත භාවිතා කිරීම අත්හිටුවා තිබේ.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය බ්‍රෙන්ඩන් මර්ෆි පවසන්නේ රුධිර කැටි ගැසීම් සම්බන්ධ දත්ත යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් පරීක්ෂා කිරීම වැදගත් බවයි. නමුත් ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියාව එන්නත ලබාදීම නතර කළ යුතු බවට කිසිදු සාක්ෂියක් මෙරටින් හමුව නොමැති බවයි.

මේ අතර, පැය 48 ක් ඇතුලත දී ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත ලබාගත් පුද්ගලයින් 4 දෙනෙකුට අසාත්මිකතා ඇතිව තිබෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෞඛ්‍ය අංශය වාර්තා කොට තිබේ. මේ හේතුවෙන් ඇනෆිලැක්සිස් නම් වන ආසාත්මිකතාව ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමෙන් වලකින ලෙසට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

එන්නත් සඳහා අසාත්මිකතා ඇතිවීම අතිශයින් දුර්ලභ වන අතර, ඇනෆිලැක්සිස් ආසාත්මිකතාව සම්බන්ද රෝග ඉතිහාසයක් නොමැති පුද්ගලයින් අස්ට්‍රසෙනෙකා එන්නත ලබාගැනීමෙන් වැලකිසිටීම අනවශ්‍ය බව ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් ස්කෙරිට් පවසා සිටී.

කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට ඉඩ සලසා තිබූ රජයේ වෙබ් අඩවිය අකර්මන්‍ය වෙයි

ලබන සඳුදා සිට ඕස්ට්‍රේලියානුවන් මිලියන හයක් සඳහා ආසන්නතම වෛද්‍යවරයා වෙතින් කොරෝනා එන්නත් ලබාගැනීම වෙනුවෙන් වේලාවක් වෙන්කරවා ගැනීමට ඉඩකඩ සලසා තිබූ රජයේ වෙබ් අඩවිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැනට අකර්මන්‍යව පවතී. සෞඛ්‍ය බලධාරීන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත ලබාගැනීම සඳහා වන මෙම අභියෝගයන් මධ්‍යයේ ඉවසිලිවන්තව සිටින ලෙසයි.

අතිවිශාල සංඛ්‍යාවක් සඳහා එන්නත ලබාගැනීම වෙනුවෙන් ඉඩ වෙන්කරලිමේදී මෙවැනි අභියෝගයනට මුහුණ දීමට සිදුවෙනු ඇති බවද Royal Australian College of General Practitioners හි වෛද්‍ය අභි වර්මා පවසා සිටී.

ඔස්ට්‍රේලියාවට ආසන්න පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කොරෝනා හිස එසවෙයි. ඕස්ට්‍රේලියාවෙන් උදවු

උතුරු ක්වීන්ස්ලන්තයට ආසන්නව පිහිටා ඇති පැසිෆික් සාගර දුපත් සමුහයක් වන පැපුවා නිව්ගිනි රාජ්‍යයේ මතුව ඇති කොරෝනා තර්ජනයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ඕස්ට්‍රේලියාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට මෙරට මධ්‍යම රජයට බලපෑම් එල්ල වෙයි.

දැනටමත් කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 25 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වුනු  රෝගීන් 2000 කට වැඩි ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ. මෙම තත්වය හේතුකොට ගෙන මාර්තු 22 වන සඳුදා සිට පැපුවා නිව්ගිනියාව සඳහා සති හතරක කාලයක් සඳහා හුදකලා කිරීමේ උපාය මාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

රට තුළ පවතින හෙදියන් 5000 කගේ කුඩා සෞඛ්‍ය ශ්‍රම බලකාය සහ රටේ වෛද්‍යවරුන් ද රෝගාතුර වන බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම තත්වය මත ඕස්ට්‍රේලියාව සිය අසල්වැසි පැසිෆික් රාජ්‍යක් වන පැපුවානිව්ගිනි වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 8,000 ක්, මුහුණු ආවරණ මිලියනයක්, සනීපාරක්ෂක දියර බෝතල් 1,00,000 ක පමණ ප්‍රමාණයක් යැවීමට සැලසුම් කර ඇත.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ දුෂ්කර කාලවලදී තම පැසිෆික් අසල්වැසියන්ට සහයෝගය දැක්වීමේ වගකීම ඕස්ට්‍රේලියාවට ඇති බවයි

ත්‍රස්ත ක්‍රියාවක් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත මෙල්බර්න් හි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ඒකාබද්ධ ත‍්‍රස්ත මර්දන විමර්ශනයක කොටසක් ලෙස මෙල්බර්න් නුවරදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනාම තරුණ ඕස්ට්‍රේලියානුවන් බවද සඳහන්. ඉන් එක් තරුණයෙකුට ත්‍රස්ත ක්‍රියාවක් කිරීමට තැත් කිරීමේ චෝදනාව එල්ල වී ඇති අතර ඔහු අද දිනයේදී (මාර්තු 18) මෙල්බර්න් උසාවියට ​​ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේම 20 හැවිරිදි තවත් තරුණයෙකු ද උසාවියේ පෙනී සිටීමට නියමිත අතර 16 හැවිරිදි අනෙක් යෞවනයා කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කොට තිබේ.

COVID-19 වසංගත සමය ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව තුල අන්තර්ජාලය හරහා සිදුවන අන්තවාදී ආකල්ප වැඩි කර ඇති බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය හෙවත් ASIO ආයතනය අනතුරු අඟවයි.

ASIO හි ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් මයික් බර්ගස් පවසන්නේ කොරෝනා වසංගතයෙන් සමාජ බිඳවැටීම සහ වර්ගවාදය පිලිබඳ පසුගාමී ආකල්ප මෙරට තරුණ ප්‍රජාව තුල වැඩි වී ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පුවත් කිහිපයක් කෙටියෙන්...

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියෝග කෙරේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (මාර්තු 17) දිනයේදී මෙම නියෝගය සිදුකොට තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හට චෝදනා එලලවී තිබිණ. 

ඔහුට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එම සමාගමේ සේවකයින් වන , චිත‍්‍රා හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැති අයවලුන් වේ.

තවද මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් නොවූ අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින දක්වා විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ.


හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසාද් සාලි මහතා පෙරේදා දිනයේදී එනම් මාර්තු මස 16 වෙනි දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජාතික සමගි පෙරමුණේ නායක සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මාස 3 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.


මුදල් විශුද්ධීකරණ පනතට අදාළව ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රක්ෂිත බන්දනාගාර ගතකොට තිබේ.

ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයවලුන් මාර්තු 30 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් විසින් නියෝග කොට ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 322 දෙදෙනෙකු ඊයේ දිනයේදී (මාර්තු 17) ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.  ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,146ක් දක්වා ඉහළගොස් ඇත. එසේම ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 537 කි.


ඉල්ලා අස්වුණු චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීමට සැරසෙයි

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුයැවීම් පුහුණුකරු ධුරය භාරගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. චමින්ද වාස් ඉකුත්දා ශ්‍රී ලංකා පිල කොදෙව් දූපත් බලා පිටත්ව යාමට පැය කිහිපයකට පෙර වැටුප් පිළිබද ගැටලූවක් මුල්කර ගනිමින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කොට තිබිණ.

කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේදී මේ  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති අතර එහිදී එළඹි එකගතාවන් අනුව චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට


*** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


6 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS Sinhala program, SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now