ඔස්ට්‍රේලියාව තුළ නිවසක් හිමි කරගැනීමේ සිහිනය බොඳවී යාමේ අවධානමක් ඇති බව නවතම Income and Labour Dynamics in Australia නොහොත් HILDA වාර්තාව පෙන්වා දෙයි. ඉදිරි වසර කිහිපය ඇතුළත ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් නිවෙස් හිමියන් බවට පත්වන ලකුණු පෙන්වන බවද එම වාර්තාව අවධාරණය කරයි. සීඝ්‍රයෙන් ඉහළ යන නිවාස මිල තරුණ පරපුර දේපළ වෙළදාම් ක්ෂේත්‍රයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමට ප්‍රබල හේතුවක් බවට පත්වී ඇත. මෙම වාර්තාවට අනුව මෙරට ධනවත් නිවෙස් හිමියන් බවට තවමත් වාර්තා වන්නේ වයස අවුරුදු 65 ට වඩා වැඩි පිරිසය.
2011 – 2015 අතර කාලයේදී නිවාස හිමියන්ගේ සමස්ත සංඛ්‍යාව 3.5%කින් අඩුවී ඇති බවද මෙම අවපාතය තව දුරටත් ඉදිරියට පවතින බවද HILDA වාර්තාවේ කතුවරයකු වන මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් විල්කින්ස් පවසයි. එම අගය නිවාස ලක්ෂ 7ක් බවද ගණන් බලා තිබේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ මෙරට වැඩිහිටයන්ගෙන් නිවාස හිමි ප්‍රමාණය හරි අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.
මෙම කරුණට සමගාමීව දුප්පත් පොහොසත් පරතරයද ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවද පෙනී ගොස් තිබේ. 2001 – 2014 අතර කාලයේදී ඔස්ට්‍රේලියානු පවුල් වලින් 70%කට ආසන්න ප්‍රමාණයකට විවිධ ආකාරයේ සුභ සාධන ප්‍රතිපාදන හිමිව තිබේ. මෙම දත්ත අනුව සමස්ත ඔස්ට්‍රේලියාව පිළිබඳ කණගාටු දායක කරුණක් ඉස්මතු වන බව මහාචාර්ය රොජර් විල්කින්ස් පවසයි. තනිකඩ දෙමාපියන්ගේ ඉහළ දරිද්‍රතාව මින් පෙන්නුම් කරන බව ඔහු අවධාරණය කර සිටියි.
තනිකඩ දෙමාපියන්ගෙන් 20%ක ප්‍රමාණයකට මූලික අත්‍යාවශ්‍ය දේවල් හිඟ බවත් ඉන් 88%ක ප්‍රමාණයක් තනිකඩ මව්වරු බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ළමා සුරැකුම් සේවය ලබාගන්නා දෙමාපියන් ඒ සඳහා 2002 වසරේ වැය කළ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් මෙම කාලයේ වැය කරන බවද මහාචාර්යවරයා පවසයි. මෙම හේතුව නිසා දෙමාපියන්ගෙන් 25%ක් පමණ සතියකට පැය 14ක පමණ කාලයක් තම දරුවන් බලා ගැනීම ඔවුන්ගේ දෙමාපියන්ට භාර දී තිබෙන බවද ඔහු පවසයි.
මෙම කාරණා මත මෙරට රැකියා ක්ෂේත්‍රයේද අමිහිරි චිත්‍රයක් මතුව තිබෙන බවද පෙනීගොස් ඇති බව HILDA වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම සුළු ව්‍යාපාර ආශ්‍රිතව. බොහෝ විට සුළු ව්‍යාපාර සඳහා සේවයට බඳවා ගන්නේ පිරිමි පාර්ශවය, වැඩිහිටි උදවිය හෝ වෘත්තීය වේදීන්ය. මෙම රැකියා අවස්ථා බොහෝ විට අර්ධ කාලීන හෝ අනියම් සේවය මත පදනම් වූ පහළ වැටුපක් සහිත ඒවාය.
HILDA වාර්තාව සැකසීමට ඔස්ට්‍රේලියාව පුරාම 17,000 කට ආසන්න පිරිසකගෙන් තොරතුරු ලබාගත් බව වාර්තා වෙයි. මෙහිදී ගෘහස්ථ ආර්ථිකය, රැකියා ක්ෂේත්‍රය, පවුල් ජීවිතය, සෞඛ්‍ය වැනි කරුණු පිළබඳ දත්ත එක් රැස් කර තිබේ.
මෙම කාරණා සම්බන්ධයෙන් තිබෙන ප්‍රත්පත්ති වල ප්‍රශ්නයක් ඇති බව මෙම වාර්තා ප්‍රතිපල පැහැදිලිව පෙන්නුම් කරන බව කම්කරු පක්ෂයේ ඡායා භාණ්ඩාගාරික අමාත්‍ය Chris Bowen සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය. “නිවසක් හිමි කරගැනීම හීනයක් කරන්න අපට අවශ්‍ය නැහැ. කම්කරු පක්ෂයේ ආර්ථික පිළිවෙත මෙම ප්‍රශ්න සඳහා ප්‍රායෝගික විසදුම් සපයනවා” යනුවෙන්ද ඔහු විසින් එම අවස්තාවේදී ප්‍රකාශ කරන ලදී.

