එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් තනතුර සඳහා ඔස්ට්‍රේලියාවෙන් කිසිවකුත් නිර්දේශ නොකිරීමට අගමැති මැල්කම් ටර්න්බුල් තීරණය කොට තිබේ. ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයකු වූ කෙවින් රඩ්ගේ නම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් තනතුර සඳහා නිර්දේශ කිරීම පිළිබඳ සංවාදයක් පසුගිය සතියේ පැවැත්වූ කැබිනට් රැස්වීමේදී සිදුවූ අතර අගමැති ටර්න්බුල් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ කෙවින් රඩ් එම තනතුර සඳහා සුදුසු නොවන බව පවසමිනි.
අගමැති ටර්න්බුල් හට කැබිනට් මණ්ඩලයේ එතරම් බලයක් නොමැති බව මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන බව කම්කරු පක්ෂයේ වැඩබලන නායිකා ටාන්යා ප්ලිබර්සෙක් පවසයි. ස්කොට් මොරිසන් සහ පීටර් ඩටන් යන දක්ෂිණාංශික අන්තවාදී මන්ත්‍රීවරුන් අගමැතිවරයාව තීරණ ගැනීමේදී බැඳ තබන බවද ඇය චෝදනාත්මකව ප්‍රකාශ කර තිබේ.
නමුත් කම්කරු පක්ෂයේ හිටපු නායකයෙකු වන Kim Beazley අගමැතිවරයාගේ තීරණයට සහය පළ කර තිබේ. ඔහු පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් තනතුර නවසීලන්තයේ හිටපු අගමැතිනි Helen Clark හට හිමිවිය යුතු බවත් ඒ සඳහා රටක් වශයෙන් ඔස්ට්‍රේලියාව සහය දිය යුතු බවත්ය.
කෙවින් රඩ්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් තනතුර සඳහා නුසුදුසු වීමට හේතු අගමැති ටර්න්බුල් මේ වන තෙක් හෙළි කර නොමැත.
අගමැතිවරයාගේ මෙම තීරණයට ප්‍රධානතම හේතුව අතීතයේ කෙවින් රඩ්ගේ ඇතැම් අනුමත කළ නොහැකි හැසිරීම් බව වීමට ඉඩ ඇති බවද බොහෝ අය මත පළ කරති. ඒ අතර කම්කරු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු වූ Steve Gibbons, Twitter පණිවිඩයක සටහන් කර ඇත්තේ කෙවින් රඩ් යනු ඉතා අහංකාර පුද්ගලයෙකු බවයි. ඊට අමතරව කම්කරු පක්ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන Tony Burke සහ හිටපු විදේශ අමාත්‍ය Stephen Smith පවසන්නේ කෙවින් රඩ් සමග කටයුතු කිරීම ඉතාමත් අපහසු බවයි. එක් අවස්ථාවකදී කෙවින් රඩ් විසින් යම් පිරිසකට නොමනා ලෙස බැන වදින අයුරු සටහන් වූ හඬ පටයක් කම්කරු පක්ෂයේ විරුද්ධ වාදීන් පිරිසක් විසින් 2012 වසරේදී මුදා හැරීමේ සිදු වීමත් සමග ඔහුගේ කේන්තිය පාලනය කරගැනීමේ නොහැකියාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතා බහක්ද ඇතිවිය.
