ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩපිළිවෙල මන්දගාමී යැයි චෝදනා සහ රජයේ කැබිනට්ටුවට එල්ල වන ස්ත්‍රී දුෂණ චෝදනා: අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 4 වනදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ. SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට

Australian Prime Minister Scott Morrison during a visit to Castle Hill Medical Centre

Australian Prime Minister Scott Morrison during a visit to Castle Hill Medical Centre to preview the COVID-19 vaccination program on Sunday Source: AAP

Highlights

  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩපිළිවෙල මන්දගාමියි
  • ස්ත්‍රී දූෂණයක් ගැන චෝදනා එල්ල වුනු ඕස්ට්‍රේලියානු කැබිනට් අමාත්‍යවරයා 'නීතිපති' බවට හෙළිවෙයි,
  • කොරෝනා වලින් බලපෑම් වුවද ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය යහපත් මට්ටමක
  • පාස්කු ප්‍රහාරයට සම්බන්දව දැනට අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදී සැකකරුවන්හට ඉක්මනින්ම නඩු පැවරීමට කටයුතු කෙරේ
  • ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට LPL තරඟ පාවාදීමේ චෝදනා

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 එන්නත්කරන වැඩපිළිවෙල මන්දගාමීයි

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 එන්නත්කරන වැඩපිළිවෙල රට පුරා බොහෝ ප්‍රදේශවල අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමීව සිදුවන බව වාර්තාවේ. එන්නත්කරණ වැඩසටහන ඉදිරි සති වලදී වේගවත් කරන බව මධ්‍යම රජය පවසයි. හෙට දිනයේදී (5 March) රැස්වන මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩල සාකච්චාවේදී මේ පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

ප්‍රාන්ත සහ ටෙරටරි වල නායකයෝ ඒ පිළිබඳව වන තම සැලසුම් හෙට කැබිනට් සාකච්චාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එන්නත් ලබාදීම සඳහා සමාජයේ වර්ගීකරණයට ලක්කොට ඇති පළමු කාණ්ඩ දෙක ඒකාබද්ධ කිරීමෙන් සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටද එන්නත ලබාදීම මඟින් තම ප්‍රාන්තයේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජ්ක්ලියන් පවසා සිටී.

පසුගිය දිනවල ස්ත්‍රී දූෂණයක් ගැන චෝදනා එල්ල වුනු ඕස්ට්‍රේලියානු කැබිනට් අමාත්‍යවරයා 'නීතිපති' බවට හෙළිවෙයි

අතීතයේ සිදුවූ ස්ත්‍රී දූෂණයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යවරයා තමන් බව පවසමින් රජයේ නීතිපති Christian Porter ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළේය. විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් ඔහු එම ස්ත්‍රී දූෂණ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කොට සිටියේය.

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු 1988 වසරේ දී එවකට වයස අවුරුදු 16 ක තරුණියක්ව දූෂණය කළ බවට චෝදනා එල්ලවී තිබිණ.

ඒ සම්බන්ධයෙන් අගමැති මොරිසන්, කම්කරු පක්ෂයේ සෙනෙට් සභා නායක Penny Wong සහ ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික Sarah Hanson-Young වෙත යවන ලද නිර්නාමික ලිපියක් පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් අනතුරුව මේ පිලිබඳ තොරතුරු අනාවරණය කරන ලෙසට අගමැති ස්කොට් මොරිසන් හට දැඩි බලපෑමක් එල්ල විය.

ඒ අනුව ඊයේ දිනයේදී (3 Mar) මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් ඉදිරියට පැමිණි වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය, නීතිපති ක්‍රිස්ටියන් පොටර් පවසා සිටියේ එවැනි සිදුවීමක් කිසිලෙසකින්වත් සිදු නොවුණු බවයි. ඔහු වැඩිදුරටත් එහිදී පවසා සිටියේ 1988 වසරේදී තමා වයස අවුරුදු 17 ක් සහ දුෂණයට ලක්වුණු බවට චෝදනා එල්ලකොට සිටි කාන්තාව වයස අවරුදු 16 ක නව යොවුන්වියේ තරුණ පුද්ගලයින් ලෙසට විවාදයකට සහභාගී වෙමින් සිටියදී තමා එම කාන්තාව කෙටියෙන් දැන සිටි නමුත් ස්ත්‍රී දුෂණයක් සිදුවුණු බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති අමාත්‍යධුරයෙන් තමන් ඉල්ලා අස්නොවන බව ක්‍රිස්ටියන් පෝටර් සඳහන් කොට තිබේ. චෝදනාවල ඇති කිසිදු ක්‍රියාවක් තමන් අතින් සිදු නොවූ විටෙක තමන් නීතිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට අස්ථාන චෝදනා වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තිය අත්හැරීමට සිදුවීමේ වැරදි පුර්වාදර්ශයක් තමා විසින් ලබාදෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේය.

කෙසේවෙතත් අගතියට පත්වුණු කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මයිකල් බ්‍රැඩ්ලි පවසන්නේ රට වැසියා හමුවේ තොරතුරු ඉදිරිපත් කිරීමට රජයේ නීතිපතිවරයා ඉදිරිපත් වීම වැදගත් නමුත් කාරණය තවම අවසන් නැති බවයි.

ඔහු පවසන්නේ මේ සම්බන්දව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. තමන්ට එල්ලවුනු චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම මඟින් කිසිවක් නොවිසඳෙන බවද, කිසිවෙකු නිවැරදි කරුවෙකු නොවන බවද ඔහු පවසා සිටී.

තමා දුෂණයට ලක්වූ බව පවසමින් චෝදනා එල්ල කල කාන්තාව මේ පිළිබඳව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලීසියට පැමිණිලි කොට තිබිණ. එහෙත් ඒ සම්බන්ද පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පවසමින් ඇය පසුගිය වසරේදී සියදිවි හානි කොට ගෙන තිබේ.

කොරෝනා වලින් බලපෑම් වුවද ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය යහපත් මට්ටමක

පසුගිය වසරේදී කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක්  ඕස්ට්‍රේලියානු ආර්ථිකයට එල්ල වුවද දෙසැම්බර් කාර්තුවේදී ආර්ථික වර්දනය වේගය සියයට 3.1 කින් වැඩිවී ඇති බව ආර්ථික විශ්ලේෂණ දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම සැප්තැම්බර් කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය ද සියයට 3.4 කින් ඉහළ ගොස් තිබේ.

අඛණ්ඩව කාර්තු දෙකක ආර්ථික වර්ධන වේගය සියයට තුනකට වඩා වැඩි වීම වාර්තා වුනු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසා සිටී.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කෙටියෙන්

ඊයේ දිනය (3 March) තුල ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසදිතවුවන් 335 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 84, 226 ලෙසට ඉහළ ගොස් තිබේ.

එසේම ඊයේ දිනයේදී තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංවිව සිටි 65 වියැති කාන්තාවකි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 484කි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු එන්නත් තොගය මාර්තු මස 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.


කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටී. එම මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කරන බව ද ඔහු සඳහන් කොට සිටී.

ඉරණතිව් දූපතේදී කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමට රජය විසින් පසුගියදා තීරණය කොට තිබිණ.  ඒ අනුව මිය යන පුද්ගලයින්ගේ ළගම ඥාතීන් දෙදෙනෙකුට ඉරණතිව් දූපතේ සිදුකෙරෙන භූමදාන කටයුතු සදහා එක්වීමට අවසර හිමිවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කොට තිබේ. 


පාස්කු ප්‍රහාරයට සම්බන්දව දැනට අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදී සැකකරුවන්හට ඉක්මනින්ම නඩු පැවරීමට කටයුතු කරන බව පාස්කු කොමිෂන් සභා අවසන් වාර්තාව සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනු කමිටුව පවසයි.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වුනු සාකච්චාවක් සඳහා, ඊයේ දිනයේදී මෙම කැබිනට් අනු කමිටුව රැස්ව තිබේ. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ද කැඳවනු ලැබ තිබින.

රජයේ භාරයේ මේ මෙහොතේ ප්‍රහාරට සම්බන්ද සැකකරුවන් 291 සිටින බවද, අවශ්‍ය සාක්ෂි තිබුනද පොලීසිය මෙතෙක් නඩු පැවරීම සිදු නොකර සිටියේ, කොමිෂන් සභා වාර්තාව පැමිණෙන තුරු බවද  පාස්කු කොමිසමේ වාර්තාව අධීක්ෂණයට පත්කළ කැබිනට් අනුකමිටුවේ සාමාජික, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කොට සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට LPL තරඟ පාවාදීමේ චෝදනා

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමේ සැලසුමක් කළ බවට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට චෝදනා එල්ල වෙයි. එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඔහු ඊයේ (3 March) දිනයේදී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ.  ඊයේ දිනයේදී පය 8 ක පමණ කාලයක් ඔහු විසින් ප්‍රකාශ ලබා දී ඇත. ඔහු අද දිනයේද  ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත කැදවා ඇති බව වාර්තා වේ.

තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. කෙසේවෙතත්, එම ඇප අයැදුම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න පහතින් ඇති සබැඳියෙන් 

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

 


Share

6 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now