Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා 2022 දී විවෘත කිරීමට හැකිවෙතැයි සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්: මාර්තු 22 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 22 වන දා සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

All COVID-19 border restrictions to be lifted by Home Affairs
All COVID-19 border restrictions to be lifted by Home Affairs Source: Getty Images

Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත ලබාදීමේ 1-B අදියර අදින් ඇරඹේ.
  • වසර 2022 දී ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන්වල යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් පවසයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් කලාප වලට තවමත් දරුණු ගංවතුර තර්ජන.
  • වික්ටෝරියානු රජයේ පාසල් වල ළමුන්ට අනිවාර්ය ඉගැන්වීමක්.
  • කොරෝනා එන්නත් පළමු වරට පලස්තීන ප්‍රදේශවලට.
  • Road Safety ප්‍රවීණයින් ගේ 20-20 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත ලබාදීමේ 1-B අදියර අදින් ඇරඹේ

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත ලබාදීමේ 1-B අදියර අදින් ආරම්භ වේ.

ඒ අනුව වයස අවුරුදු 70 ට වඩා වැඩි පුද්ගලයින්, මෙතෙක් කොරෝනා එන්නත ලබා නොගත් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, වයස අවුරුදු 55 ට වැඩි  ඇබොර්ජිනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට, බරපතල රෝග ඇති වැඩිහිටියන්ට මෙම අදියරේදී කොරෝනා එන්නත ලබාගත හැකිය.

මේ අතර AstraZeneca කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාව තුළදීම නිපදවීමට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය අවසර ලබා දී තිබේ.

ඒ අතර නිව් සවුත් වේල්ස් හි පවතින දරුණු කාලගුණික තත්ත්වයන් නිසා ප්‍රාන්තය පුරා COVID-19 එන්නත් ලබා දීම අඩාල වනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදෙන පවුලේ වෛද්‍යවරුන් ගේ සායන 1,000 න් 900 කටම මේ වන විට සිය එන්නත් තොග ලබා දී ඇති නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් සායන සඳහා තවමත් ලබා දීමට නොහැකිවී ඇති බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ වෛද්‍ය Chris Moy පැවසීය.

2022 දී ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන්වල යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් පවසයි

වසර 2022 දී ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන්වල යෙදීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය Brendan Murphy පවසයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා මේ වසර මැද වන තෙක් වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට අවසර ලත් හේතූන් මත පමණක් රටින් පිටවීමට අවසර ලැබෙන අතර ඔස්ට්‍රේලියානුවන් හෝ ස්ථිර පදිංචිකරුවන් හෝ නොවන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ද අවසර නොලැබේ.

ඔස්ට්‍රේලියාව තුළ සිටින සහ විදෙස් රටවල සිටින පුද්ගලයින් බහුතරයකට මේ වන විට කොරෝනා එන්නත ලබා දෙමින් සිටින නිසා වර්තමානයේ ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට වෙනත් විකල්ප එක් කිරීමට අවධානය යොමු කර ඇති බව මහාචාර්ය Brendan Murphy Sky පුවත් වෙත පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් කලාප වලට තවමත් දරුණු ගංවතුර තර්ජන

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hawkesbury ගංගාව ආසන්නයේ පදිංචිකරුවන්ට දරුණු ගංවතුර තර්ජන එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද දිනයේදී (22/03) Hawkesbury ගංගාවේ ජාල මට්ටම මීටර් 15 ක උපරිමයකට පැමිණෙතැයි අපේක්ෂා කරන අතර ඒ අනුව දරුණු ගංවතුර තත්ත්වයක් හටගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව Windsor, Pitt Town, North Richmond, Freemans Reach සහ Colo යන ප්‍රදේශ ජලයෙන් යටවිය හැකි බවට අපේක්ෂා කරයි.

මේ අතර පසුගිය සති අන්තයේ Wyong ප්‍රදේශයේ ගංවතුර නිසා සිරවී සිටි රියදුරෙකුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් බේරාගන්නා ලදී.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northern Rivers කලාපයටද ගංවතුර තර්ජන එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් දරුණු අනතුරු වලට මුහුණ දුන් පුද්ගලයින්ට සහ තමන්ගේ නිවාස වලට හානි වූවන්ට ආපදා සහන ගෙවීමකට වහාම අයදුම් කිරීමට කටයුතු සලසා තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා සීමා 18 කට වෙසෙන වැසියන් මේ සඳහා සුදුසුකම් ලබයි.

මෙම සහන දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ වැඩිහිටියෙකුට එකවරක් ගෙවනු ලබන $1000 කටද ළමයෙකුට එකවරක් ගෙවනු ලබන $400 කටද හිමිකම් කිව හැකිය.

එමෙන්ම සති 13 ක් දක්වා වූ කෙටි කාලීන ආදායම් ගෙවීම් ද ගංවතුරෙන් පීඩාවට පත් පිරිස් වෙත ලබාගැනීමට හැකියාව ඇත.

වික්ටෝරියානු රජයේ පාසල් වල ළමුන්ට අනිවාර්ය ඉගැන්වීමක්

ලිංගික සම්බන්ධයකදී කාන්තාවකගේ කැමැත්ත ලබා දීම නීතිමය වශයෙන් නිර්වචනය කරනුයේ කෙසේද යන්න පිළිබඳ වන අධ්‍යාපනය වික්ටෝරියානු ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන්ට අනිවාර්ය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පෞද්ගලික උසස් පාසැල් හා සම්බන්ධ ලිංගික අතවර සහ ලිංගික හිරිහැර චෝදනා මාලාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ගෞරවනීය ලෙස සම්බන්ධතාවක් පවත්වාගැනීම පිලිබඳ වූ වැඩසටහනේ ව්‍යාප්තියක් මගින් වික්ටෝරියානු රජයේ පාසල් පද්ධතිය තුළ මෙම සංවේදී කාරණාව උගන්වන ආකාරය පිළිබඳ වර්තමානයේ පවතින අසාර්ථකත්වයන් මේ හරහා විසඳෙනු ඇතැයි අධ්‍යාපන බලධාරීහු අපේක්ෂා කරති.

දෙවන වාරයේ සිට මෙම සංවේදී කාරණය නිසි ලෙස ඉගැන්වීමට සූදානම් කිරීම සඳහා වික්ටෝරියානු රජයේ පාසල් ගුරු මණ්ඩලයට අමතර සම්පත්, මග පෙන්වීම් සහ වෘත්තීය සංවර්ධනය සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත.

තරුණ වික්ටෝරියානුවන්ට මෙම මාතෘකාව පිළිබඳ වැඩි පුහුණුවක් අවශ්‍ය බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මන්ත්‍රිනී Jaala Pulford පැවසුවාය.

කොරෝනා එන්නත් පළමු වරට පලස්තීන ප්‍රදේශවලට

COVAX වැඩසටහන යටතේ ලබා දෙන කොරෝනා එන්නත් පළමු වරට පලස්තීන ප්‍රදේශවල බෙදා හරිනු ලැබේ.

ඒ අනුව Pfizer සහ AstraZeneca කොරෝනා එන්නත් 61,400 ක් පලස්තීන බලධාරීන් වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

එන්නත් තොග වලින් තුනෙන් එකක් හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා තීරයට නැව්ගත කර ඇත.

ඉතිරි එන්නත් තොග බටහිර ඉවුරට යවා ඇති බව සඳහන්.

පලස්තීන ප්‍රදේශයේ ප්‍රමාණවත් තරම් කොරෝනා එන්නත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ Gaza කාර්යාලයේ ප්‍රධානි Sacha Bootsma පවසයි.

Road Safety ප්‍රවීණයින් ගේ 20-20 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉන්දියාව විසින් සංවිධානය කළ Road Safety ප්‍රවීණයින් ගේ 20-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ ඊයේ (21/03) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ලකුණු 14කින් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 181 ක් රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 182 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසාන පන්දුවාරය තෙක් ජයග්‍රහණය සඳහා තියනු සටනක් ලබාදුන් නමුත් ඔවුන්ට අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 167ක් පමණි.

සනත් ජයසූරිය පන්දු 35 කදී ලකුණු 43 ක්ද චින්තක ජයසිංහ පන්දු 30 කදී ලකුණු 40 ක්ද කෞශල්‍ය වීරරත්න පන්දු 15 කදී ලකුණු 38 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් හට හිමි විය.

 

 


5 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now