Highlights
- ඔස්ට්‍රේලියාව තුල ණය ලබාගන්නන් හට ණය ලබාගැනීමට පහසු කිරීමට වන ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ
- වගකීමකින් යුතුව ණය ලබාගැනීම සඳහා උපදෙස්
- වගකීම් විරහිතව ණය ලබාදීම සම්බන්ධයෙන් සිවිල් සහ සාපරාධී දඩුවම් නොලැබීම
කොරෝනා වසංගතය හමුවේ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් වගකීමක් සහිතව ණය ලබාදෙන නීති ප්‍රතිසංස්කරණය කිරීමේ පනතක් ඉදිරිපත් කොට ඇති අතර ඒ ඔස්සේ පාරිභෝගිකයින් හට සහ ව්‍යාපාර සඳහා ණය ලබාගැනීම පහසු කොට තිබේ.
මෙම යෝජනාව නීතියක් බවට පත් වුවහොත්, ණය ලබාගන්නන් හට එම ණය ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කරන අතර එමගින් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගන්නා සතුව පවතින හැකියාව තක්සේරු කිරීමට ණය ලබාදෙන්නා හටද පහසු වේ.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ, ස්වාධීන මූල්‍ය සංසන්දනාත්මක වෙබ් අඩවිය වන Creditworld හි නිර්මාතෘ Roland Bleyer අවධාරණය කොට සිටින්නේ ලබාගන්නා ණය ආපසු ගෙවීමට එම ණය ලබාගන්නා පුද්ගලයාට හැකියාවක් පවතීද යන්න තක්සේරු කිරීම ණය ලබාදෙන්නා සතු වගකීමක් වන බවයි. එමෙන්ම ණය ලබාගන්නන්ද වගකීමෙන් යුතුව ණය ලබාගතයුතු බව ඔහු පවසයි.
වගකීමකින් යුතුව ණය ලබාගැනීම සඳහා උපදෙස්
වඩා වගකීමකින් යුතුව ණය ලබාගැනීම සඳහා උපදෙස් කිහිපයක් Roland Bleyer පෙන්වා දෙයි
- ඔබ සතු මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ගැඹුරින් සිතන්න
- ඔබේ තීරණය පිළිබඳව ගතානුගතික වන්න
- හොඳම ගනුදෙනුව සිදු කිරීම සඳහා පවතින විකල්පයන් සසඳා බලන්න
- අනුපාතය ඉහල යාම සම්බන්ධයෙන් වන සම්භාවිතාවය පිලිබඳ සලකා බලන්න
- ඔබ ලබාගත් ණය නැවත ගෙවීම සඳහා කාලය පැමිණි විට ඉතිරි වන මුදලින් ජීවත් වීම සඳහා හුරු වන්න
Golden Eggs Mortgage Brokers හි නිර්මාතෘ සහ නිව් සවුත් වේල්ස් සහ කැපිටල් ටෙරිටරිය සඳහා 2019 වසරේදී, වසරේ මුදල් තැරැව් කරු වූ Max Phelps මුදල් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයකු වේ.
ඔහු පෙන්වා දෙන්නේ යමකු කෙටි කාලීන ණයක් සඳහා යොමු වුවහොත් එම පුද්ගලයාට, පොලී අනුපාතය ඉහල ගියද යම් කාලයක් ලබාගත හැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ වසර 20ක් හෝ ඊට වඩා අඩු කාලයක් තුල ගෙවිය හැකි, වත්මන් පොලී අනුපාත මත පදනම්ව මුදල් ණයට ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ ඔස්සේ පොලී අනුපාතය 4% හෝ 5%කින් ඉහල ගියද වසර 30ක් වැනි කාලයක් තුලදී එම ණය මුදල ගෙවා අවසන් කල හැකි බව Max පෙන්වා දේ.
එමන්ම ඔහු සඳහන් කොට සිටින්නේ ඔබ යම් ණයක් සඳහා යොමු වන්නේ නම් ඔබේ වත්මන් අදායම් සහ වියදම් පිළිබඳවත් අපේක්ෂාවන් පිළිබඳවත් අවධානයක් යොමු කරන ලෙසයි.
"ඔබ පවුල සමග නිවසක ලාභදායි ලෙස ජීවත් වන්නේ නම් එලෙස දිගටම ජීවත් වන බවට අපේක්ෂා කිරීම යථාර්තවාදී නොවේ."
Roland Bleyer පවසන්නේ මෙම නව වෙනස්කම් ඔස්සේ, වගකීම් විරහිතව ණය ලබාදීම සම්බන්ධයෙන් එම ණය ලබාදෙන්නන් හට තවදුරටත් සිවිල් අපරාධ දඩ නොලැබෙන බවයි.
බැංකු හෝ තැරැව්කරුවන්
Max Phelps පෙන්වා දෙන්නේ 2021 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට බලපැවැත්වෙන තවත් ව්‍යවස්ථාවක් මත ණය ලබාගන්නන් හට ප්‍රමුඛතාවය ලබාදී ඇති හෙයින් තැරැව්කරුවන් ඔවුනට ආරක්‍ෂිත ඔට්ටුවක් වන බවයි.
" ඔබේ යහපත සඳහා ක්‍රියා කිරීමට තැරැව්කරුවන් හට නීතීන් පවතී නමුත් බැංකුවේ නීතින් පවතින්නේ බැංකුවේ යහපත සඳහා පමණි."

Roland Bleyer සඳහන් කොට සිටින්නේ ණය ලබාගන්නන් සඳහා වන අයදුම්පත් ක්‍රියාවලිය සරල කිරීම සහ දැඩි ආරක්‍ෂිත ක්‍රියාවලියෙන් බැහැර කිරීම ඔස්සේ පුද්ගලයින් මුදල් සූරාකෑමට ලක්වීමේ අවධානමක් පවතින බවයි.
"ණය ලබාදීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම ඔස්සේ අවධානම් සහිත පුද්ගලයින් මුදල් සූරාකෑම් සඳහා වඩාත් නිරාවරණය වේ."
ජාතික පාරිභෝගික ණය ආරක්ෂණ පනත යටතේ වර්තමාන ණය ලබාදීමේ ක්‍රියා පටිපාටිය මගින් ගෘහස්ථ සහ පවුල් අපයෝජන සිදු වන බව හඳුනාගෙන තිබේ.
නමුත් Bleyer සඳහන් කොට සිටින්නේ වගකීමක් සහිතව ණය ලබාදෙන නීති ලිහිල් කිරීමත් සමග පවුල් හෝ වැඩිහිටි අපයෝජනයට ගොදුරු වුවන් හට අවසානයේ අනවශ්‍ය ණයක් ගෙවීමට සිදු වන බවයි.
"අප සෑම විටම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කලයුතු අතර ඔවුන් ආරක්ෂා නොකොට ගන්නා සෑම පියවරක්ම වැරදි දිශාවට ගන්නා පියවරකි."
වගකීමක් සහිතව ණය ලබාදෙන නීති වෙනස් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය 2021 මැයි දක්වා කල් තබා තිබේ.

1800 007 007 අංකය ඇමතීම මගින් ජාතික ණය උපකාරක සේවය් ඔස්සේ නොමිලයේ සහ රහස්‍ය බව රකිමින් මූල්‍ය උපදේශන ලබාගත හැක.
1800ELDERHelp, 1800 353 374 අංකය ඇමතීම මගින් ජාතික වැඩිහිටි අපයෝජන උපකාරක සේවය් ඔස්සේ නොමිලයේ සහ රහස්‍ය බව රකිමින් උපකාර ලබාගත හැක.
1800RESPECT, 1800 737 732 අංකය ඇමතීම මගින් ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වූවන් සඳහා නොමිලයේ සහ රහස්‍ය බව රකිමින් උපකාර ලබාගත හැක.

