ඔස්ට්‍රේලියාවේ වෙසෙන 2වන ඛාණ්ඩයේ දියවැඩියාව ඇති රෝගීන් හට ලබන සැප්තැම්බර් මස පළමුවන දින සිට තමන් දිනපතා භාවිත කරන එන්නත වෙනුවට සතිපතා භාවිත කළ හැකි එන්නතක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ. මෙම නව එන්නතින්ද සිදු වන්නේ පැරණි එන්නතින් සිදු වන ප්‍රති කර්මයම වන අතර විශේෂත්වය වන්නේ මෙම හඳුන්වා දීමට යන සති පතා එන්නත, pharmaceuticals benefit scheme හෙවත් ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන යටතේ නිකුත් කිරීමය.
මේ වනවිට ගණනය කර ඇති අන්දමට ඔස්ට්‍රේලියාව තුළ සෑම මිනිත්තු 5කටම වරක් එක් දියවැඩියා රෝගියකු හඳුනාගැනෙන අතර සමස්ත ඔස්ට්‍රේලියාව පුරාම දියවැඩියා රෝගීන් මිලියන 1.7ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇත. ඔස්ට්‍රේලියානු රජයට වසරකට දියවැඩියා රෝගීන් හට ප්‍රතිකාර කිරීමට පමණක් ඩොලර් බිලියන 14ක් පමණ වැය වන බවද අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපෘතියට මෙන්ම ගැබ් ගෙල පිළිකා මර්දනය කිරීම සහ විරලව ව්‍යාප්ත වන රෝග සඳහා ප්‍රතිකාර වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 70ක් යෙදවීමට අපේක්ෂා කරන බව ෆෙඩරල් රජයේ සෞඛ්‍යය අමාත්‍යවරිය වන Sussan Ley පවසා තිබේ. මෙම නව ක්‍රමය ඉතාමත් පහසු බවත් ආර්ථික වශයෙන් සහන දායී බවත් ඇය පවසා සිටියාය.
අවාසනාවකට මෙන් ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් එම නිසාම මෙවැනි තීන්දු අදාළ පිළිගත් උපදේශන කමිටුවල අනුමැතිය හිමිවූ පසු නිර්භයව ගැනීමට පසු බට නොවන බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
2වන ඛාණ්ඩයේ දියවැඩියාව ඇති රෝගීන් දිනකට දෙවරක් ලබාගන්නා එන්නත සතියකට එක් වරක් ලබාගැනීමට මෙම නව ක්‍රමය මගින් හැකි වීම විශාල ජයග්‍රහණයක් බව Diabetes Australia ආයතනයේ Renza Scibilia පවසා සිටියාය. අනෙක් පසින් මෙය රෝගීන්ගේ ජීවිත වලට නව බලාපොරොත්තු ගෙන දීමක් මෙන්ම සුව පහසුව ඇති කරවන්නක්ද වන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන හෙවත් The Pharmaceutical Benefits Scheme (PBS) යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන හෙවත් The Pharmaceutical Benefits Scheme (PBS) ආරම්භ වූයේ 1948 වසරේ සීමාසහිත වැඩසටහනක් ලෙසය. එමගින් විශ්‍රාමිකයන් හට නොමිලයේ ඖෂධ සහ අනෙක් උදවියට ලැයිස්තුගත ඖෂධ 139ක් නොමිලයේ ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන, ඔස්ට්‍රේලියානු රජයේ පුළුල් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකය. මෙම ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන යටතේ ඖෂධ සඳහා වැය වන මුදල රජය විසින් දරණ අතර ලැයිස්තුගත බොහෝ ඖෂධ, ඖෂධවේදීන් විසින් නියම කරනු ලබන ඒවා සහ නිවසේදී භාවිත කළ හැකි ඒවාවේ.
ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන හෙවත් The Pharmaceutical Benefits Scheme (PBS) සහ ඒ යටතේ ලයිස්තුගත ඖෂධ පිළිබඳ වැඩි විස්තර ඔබට http://www.pbs.gov.au/info/about-the-pbs වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.

