මහනුවර මහ නගර සභාව සහ මහනුවර ගගවට කෝරළය ප්‍රාදේශීය සභාව සදහා බලය ලබා ගැනීමේදී පොදු ජන පෙරමුණට වැඩි අවස්ථාව තිබුණත් මුදල් ගනු දෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සදහා බලය ලබාදීමට සංවිධායකවරුන් කටයුතු කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ සිටී.
පොදු ජන පෙරමුණට මහනුවර මහ නගර සභාව සදහා බහුතරයක් නොතිබුණු නමුත් එහි බලය පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකියාව තිබුණු බව නුගවෙල පක්ෂ කාර්යාලයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.
ගගවට කෝරළය ප්‍රාදේශිය සභාව පොදුජන පෙරමුණට බහුතර බලයක් තිබුණත් එම පක්ෂයේ සභාපතිවරයෙකු හා උපසභාපතිවරයෙකු පත් කිරීමට අවස්ථාව නොලැබුණු බවත් එහිදී මුදල් ලබාදී මන්ත්‍රිවරුන් දඩයම් කොට ඇතැයි කී මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
"....පැහැදිලි ලෙසම නගරාධිපති, සභාපති යන තනතුරු ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමට හැකියාව තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක, පළාත් අමාත්‍ය තිළිණ තෙන්නකෝන් මහතා සහ එම පක්ෂයේ මහනුවර ආසන සංවිධායක මහින්ද අබේකෝන් මහතා එක්සත් ජාතික පක්ෂය සමග පසුගිය දිනවල සාකච්ඡා කොට තිබුණා. ඒ අනුවයි අපට එම පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට හැකියාවක් නොමැති වුණේ.
අපේ මන්ත්‍රීවරුන් අපට ඡන්දය ලබාදීමට එකගව සිටියත් ඔවුන්ට මුදල් ලබාදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු පත්කිරීමට ඔවුන් ක්‍රියාකර තිබෙනවා.
බොහෝ පළාත් පාලන ආයතනවල අප දුටුවේ බලය ලබා ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ අයුරුයි. නමුත් අද මහනුවර සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව එක්සත් ජාතික පක්ෂය වෙත බලය ලබාදීමයි. මෙම කාර්යය සිදුකළ සංවිධායකවරයා කලින් කලට පක්ෂ මාරු කළා. ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉඩ තිබෙනවා....."
පළාත් පාලන ආයතනවල බලය අපට නොලැබුණාට පසුතැවිලි නොවී ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
** SBS සිංහල වාර්තාකරු නදීක බණ්ඩාර මහනුවර සිට වාර්තා කරයි **

