මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ හොඳම දග පන්දු යවන්නා වශයෙන් සැලකෙන රංගන හේරත් එක දින සහ 20-20 ජාත්‍යන්තර තරග පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළේය. නමුත් ඉදිරියටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරග වලදී තම සේවය ලබදෙන බව රංගන හේරත් ප්‍රකාශ කර තිබේ.
දැනට 38 හැවිරිදි වියේ පසුවන රංගන හේරත්, 2004 වසරේ සිම්බාබ්වේ දේශයට එරෙහිව, හරාරේ හිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක දින වරම් හිමි කරගත් අතර, එක්දින තරග 71 කදී කඩුලු 74ක් දවාගන්නට ඔහු සමත් වී තිබේ. 20-20 ජාත්‍යන්තර පිටිය තුළද ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වී ඇති රංගන හේරත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරග 17කට සහභාගී වී කඩුලු 18ක් දවගන්නට සමත් වී තිබේ. 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කල රංගන හේරත් මුලික වටයේ නවසීලන්තය සමග පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 3කට කඩුලු 5ක් දවාගැනීම ඔහුගේ 20-20 තරග දිවියේ හොදම පන්දු යැවීම වසහයෙන් සදහන් කල හැකියි. මීට අමතරව 2012 වසරේ 20-20 ලෝක කුසලානය තුල ඔහු දැක වූ දස්කම් ප්‍රසංසනිය බව සදහන් කල යුතු අතර, පකිස්ථානය සමග පැවති අවසන් පුර්ව තරගයේදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වීම තම ක්‍රිකට් දිවියේ අමතක කල නොහැකි සිදුවීමක් බව රංගන පවසයි.
එළබෙන මාස අටක කාලය තුල ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 12කට ආසන්න සංඛ්‍යාවකට මුහුණ දීමට නියමිත බවත් ඒ නිසා එක දින තරග වලින් සහ විස්සයි විස්ස තරග වලින් සමුගැනීම නිවැරදි තීරණයක් ලෙස තමන් දකින බවත් රංගන හේරත් පවසයි. මීළඟ ලෝක කුසලානය සදහා තරුණ ක්‍රීඩකයින් සුදානම් කිරීමට අවස්ථාවක් ලබාදීමත්, වැඩි වශයෙන් ටෙස්ට් තරග සදහා තම අවදානය යොමුකිරීමත් අරමුණු කරගනිමින් තමන් මෙම තීරණය ගත් බව රංගන හේරත් තම සමුගැනීම පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි. තමන් එක දින සහ 20-20 තරග පිටියෙන් සමුගන්නේ ඉතා සතුටුන් බවත්, කිසිම කෙනෙක් සමග ඇති වූ ප්‍රශ්නයක් නිසා නොවන බවත් ඔහු BBC සංදේශය සමග සාකච්චාවකට එක වෙමින් සදහන් කළේය.
ටෙස්ට් තරග පිටියේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දක්වා ඇති රංගන හේරත් ටෙස්ට් තරග 67කදී කඩුලු 297ක් දවාගැනීමට සමත් වී තිබේ.
ලෝක කුසලාන දෙකක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම සහ විස්සයි විස්ස ලෝක කුසලාන තුනකට සහභාගි වී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකිවීම සිය ක්‍රීඩා දිවියේ මතක සටහන් අතර ඉදිරියෙන්ම තිබෙන බව, රංගන හේරත් තම සමුගැනීම පිලිබදව අදහස් දක්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
සුපිරි දක්ෂතා සහිත දගපන්දු යවන්නෙක් වුවත් වසර 11කට අසන්න කාලයක්, මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුගේ දක්ෂතා සැගවී ගිය බව බොහෝ ක්‍රිකට් ප්‍රවිනයින්ගේ මතය වී තිබේ.