ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට “Miss World Australia” තරගාවලියේ අවසාන මහා තරගයට ස්වදේශික (ඇබෝර්ජීනියානු) තරුණියක් සහ අප්‍රිකානු සම්භවයක් ඇති තරුණියක් තේරී පත්වී තිබේ. ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිය මෙම තරගාවලියෙන් නිරූපණය නොවන බවට පසුගිය සමයේදී මෙහි සංවිධායක මණ්ඩලයට විවේචන පවා එල්ල වී තිබුණි.
“Miss World Australia” තරගාවලියේ අවසාන මහා තරගයට තේරී පත්වූ අප්‍රිකානු සම්භවයක් ඇති තරුණිය නමින් Beza Mickan-White වෙයි. ඇයට රූපලාවන්‍යාගාරයට වඩා පැසි පන්දු පිටිය හුරුපුරුදු බව වාර්තා වෙයි. නමුත් “Miss World Australia” තරගාවලිය හේතුවෙන්ම ඇය රූපලාවන්‍ය කටයුතු සඳහාද වැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තාය.
මෙම අවස්ථාව නිසා මාධ්‍යට සහ විලාසිතා කර්මාන්තයට ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිය පිළිබඳ ඉහළින් සැමරීමට අවස්ථාව උදාවී ඇති බවත් එම නිසාම තමා බොහෝ වාසනාවන්ත බවත් ඇය පවසා තිබේ.
22 හැවිරිදි Beza ඉතියෝපියාවේදී උපත ලැබූ අයෙකි. පසුව ඇයට වයස අවුරුදු හතරේදී ඔස්ට්‍රේලියානු දෙපළක් ඇයගේ කැපකරු මාපිය යුවල වශයෙන් ඉදිරිපත් වී ඇයව ඇඩිලෙයිඩ් නුවරට රැගෙන විත් තිබේ. එම යුවල ඉතාම කරුණාවන්ත සහ මානුෂීය ගුණාංග වලින් සපිරි පුද්ගලයින් බව Beza වැඩි දුරටත් සඳහන් කර ඇත. මුල්වරට ඇය ඇඩිලෙයිඩ් නුවර ඔවුන්ගේ නිවසට පැමිණෙන අවස්ථාවේදී “'Welcome home, Beza'"යනුවෙන් සටහන් වූ ආදරණීය පුවරුවක් ප්‍රධාන දොරටුවේ එල්ලා තිබූ බවද ඇය ඉතා ආදරයෙන් සිහිපත් කළාය.
“Miss World Australia” තරගාවලියේ අවසාන මහා තරගයට Beza ගේ මෙම තේරී පත්වීමත් සමග නීති විරෝධී සංක්‍රමණිකයන් හට සහ සරණාගත පිරිස් හට මෙම තරගාවලිය උපදේශක වැඩසටහනක් ලෙස යොදාගැනීමට දකුණු ඔස්ට්‍රේලියාව යොදාගැනීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි. මීට අමතරව මෙම අවස්ථාව හේතුවෙන් Beza හට තම නියම මව සොයාගැනීමට හැකි වනු ඇති බවද ඇය විශ්වාස කරයි.
මේ අතර උතුරු ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ආහ්නම් ප්‍රදේශයද මේ වනවිට ලහි ලහියේ “Miss World Australia” තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සූදානම් වන බව වාර්තා වෙයි. ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට “Miss World Australia” තරගාවලියේ අවසාන මහා තරගයට ස්වදේශික (ඇබෝර්ජීනියානු) තරුණියක් සුදුසුකම් ලැබීම ඊට හේතුවයි. යිර්කාලා ස්වදේශික ප්‍රජාවට අයත් 19 හැවිරිදි Magnolia Maminydjama Maymuru නමැති මෙම තරුණිය උතුරු ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් අවසන් වටයට තේරී පත්වී ඇත.
“මම තවමත් නොසන්සුන්. මේක හිතාගන්නවත් බැරි දෙයක්. මගේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට ආඩම්බරයක් ගෙන දෙන්න මට යමක් කරන්න පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙනවා.” අවසන් වටයට තේරී පත්වීමත් සමග Magnolia තම හැගීම් පළ කළේ ඒ අයුරිනි.
වසර දෙකකට පෙරාතුව ඇයට ලැබුණු නිරූපණ ශිල්පී ආරාධනාවක් ඇය ප්‍රතික්ෂේප කළේ ඇයට තම පාසැල් අධ්‍යාපනය නිමා කිරීමට අවශ්‍යවූ නිසාය. පාසැල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඇය ඇගේ ප්‍රජාව තුළ ක්‍රීඩා නිලධාරිනියක් ලෙස කටයුතු කරයි. “Miss World Australia” තරගාවලියේ අවසන් වටයට Magnolia තේරී පත්වීම පිළිබඳ “Miss World Australia” හි අධ්‍යක්ෂ Deborah Miller අතිශය ප්‍රීතියට පත්වී සිටින බවද වාර්තා වෙයි. Magnolia ඉතා ලස්සන, චාම් සහ උසස් ගතිගුණ වලින් පිරි තරුණියක් බව Deborah පවසා තිබේ.
තම ප්‍රජාවන්ගේ සහ කලාපයේ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ධනාත්මකව සහ ගුණාත්මකව ඉහළ දැමීමට නායකත්වය සපයන කාන්තා නියෝජිතයන් බිහි කිරීම “Miss World Australia” තරගාවලියේ එක් ප්‍රධාන අරමුණක් වෙයි.
ආචාර්ය Lauren Rosewarne යනු මෙල්බන් විශ්ව විද්‍යාලයේ සමාජ සහ දේශපාලන විද්‍යා පාසැලේ ජ්‍යෙෂ්ට දේශකයෙකි. “Miss World Australia” තරගාවලියේ තරගකරුවන් හට සහන සේවා කටයුතු සහ සමාජ නියෝජනයක් නොමැති ප්‍රජාවන් පිළිබඳ දැනුවත් කිරීමට තම ජනප්‍රිය භාවය යම් තාක් දුරකට යොදාගත හැකි බව අය පවසයි.
එළඹෙන ජූලි 22 වන දින පැවැත්වීමට නියමිත “Miss World Australia” තරගාවලියේ අවසන් මහා තරගයෙන් තේරී පත්වන ජයග්‍රාහිකාව දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී රටවල් 120ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “Miss World” මහා තරගය නියෝජනය කිරීමට වරම් ලබනු ඇත.

