මුදල් නොමැති නිසා සංවර්ධන කටයුතු සිදුකළ නොහැකි බව ඇතැම් දේශපාලඥයන් ප්‍රකාශ කළත් සෑම සංවර්ධන කාර්යයක් සදහාම මුදල් අවශ්‍ය නොවන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ සදහන් කළහ.
දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී කුරුණැගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය එස්.ඩබ්ලියු.අලවතුවල මහතා එක්දිනක් තුළදී සංවර්ධන කාර්යයන් සියයක් සිදුකළ බවත් ඒ සදහා වැඩි වශයෙන් යොදා ගත්තේ රජයේ මුදල් නොව ශ්‍රම දායකත්වය බවත් මහා නායක හිමියෝ පැවසුහ.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ඊයේ (19/03) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි මහ නා හිමියන් බැහැ දුටු අවස්තාවේදී උන්වහන්සේ මේ බව පැවසුහ.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය. අස්ගිරි මහා විහාරයට පසුව ගිය ඒ මහතා එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ද බැදැ දැක ආශිර්වාද ලබා ගත්හ.
“කුරුණෑගල දිස්ත්‍රිකය කේන්ද්‍ර කොට වොක්ස් වැගන් මෝටර් රථ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන බවට රජය ජනතාවට පොරොන්දුවුණා. ජනතාවට ලබා දුන් පොරොන්දු හැකි පමණින් හෝ ඉටු කිරීමට උත්සහ කළ යුතුයි. වොක්ස් වැගන්ම අවශ්‍ය නැහැ. කුමන හෝ කාර්මික සංවර්ධන ආයතනයක් වුව ද ස්ථාපිත කිරීම සුදුසුයි. හිටපු අමාත්‍ය එස්.ඩබ්ලියු.අලවතුවල මහතා කුරණෑගල දිස්ත්‍රිකයට සිදුකළ සේවය එහි ජනතාවට අද පවා අමතක කරන්න බැහැ. එතුමා සංවර්ධන කාර්යයන් සියල්ල සිදුකළේ මුදල් පමණක් යොදා ගනිමින් නොවෙයි. ශ්‍රම දායකත්වය හා දානපතියන්ගේ ආධාර සහිතව සංවර්ධන කාර්යයන් දියත් කොට රට සංවර්ධනය කළ හැකියි” මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.
අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වය වෙනස් නොවන බව කීවේය. එමෙන්ම ආණ්ඩුවේ සිටින ජනතාව ප්‍රතික්ෂේප කළ ඇමැතිවරුන් අගමැතිවරයා විවේචනය කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වී විවේචනය කිරීම සදාචාර සම්පන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

