ශ්‍රී ලංකාවේ සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සදහා වගකිව යුතු අංශ කඩිනමින් මැදිහත්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පවසති. තමන් මේ දක්වා විශ්වාස කර සිටියේ යුද හමුදා කදවුරේ පිපිරීම නිසා අවතැන්වූවන්ට සහන සලසා ඇති බව යැයි උන්වහන්සේ කීහ.
සාලාව අවි ගබඩාව පිපිරීමට පත්ව මාස 15ක් පිරීම නිමිත්තෙන් සිද්ධියෙන් අවතැන්වූවන් අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක තමන්ට වූ අසාධාරණය පිළිබදව උන්වහන්සේ දැනුවත් කළහ.
යුද හමුදාකදවුර විනාශවීම නිසා සිදුවූ හානිය තමන් ද නීරීක්ෂණය කළ බවත් මේ දක්වා ඔවුන්ට සහන සැලසීමට වගකිවයුත්තන් අපොහොසත්වි සිටින්නේ නම් එය මහත් අසාධාරණයක් යැයි මහා නායක හිමියන් සදහන් කළේය. මාස 15ක් වැනි දිගු කලක් තිස්සේ අවතැන්වූවන්ට සාධාරණය ඉටු නොකරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් මැදිහත්වී කඩිනමින් සහන සැලසිය යුතු යැයි මහා නායක හිමියන් මෙහිදී සදහන් කළේය.
යුද හමුදා කදවුරේ සිදුවූ විනාශය නිසා නිවාස අහිමිවූ පිරිස් මහා නායක හිමියන් වෙත කියා සිටියේ මහා විශාල විනාශයක් සිදුවූ නමුත් තමන්ට මේ දක්වා නිවාස ඉදිකර ගැනීමට සදහා හෝ වන්දි මුදල් ප්‍රමාණවත්ව නොලැබුණු බවයි. තමන් වගකිවයුතු අංශවෙත දැනුම් දුන් නමුත් මේ දක්වා නිසි විසදුමක් නොලැබුණු බව ද ඔවුන් කීහ.
කදවුර පිපිරීමෙන් සිදුවූ හානිය නිසා නිවාස 1200කට හානි වූ බවත් ඉන් නිවාස 700කට බරපතල හානි වී ඇතැයි කී විපතට පත් ජනතා එකමුතුවේ නියෝජිතයන්, නිවාස 300ක් පමණ ඉදිකර ගත නොහැකිව බරපතල අර්බුදයකට මැදිවී සිටින බව කීවේය.
රජයෙන් යම් යම් සහන ලැබුණත් සිදුවූ හානි තක්සේරු කිරීමේදී තක්සේරුවට වඩා විශාල හානියක් තමන්ට සිදුව තිබෙන බවත් බලධාරීන් විසදුම් ලබා දෙනු වෙනුවට ප්‍රශ්නය මග හරිමින් සිටින බවත් ඔවුන් කීහ.
සාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ සභාපති හේමන්ත රුද්‍රිගෝ, ලේකම්, චන්දන සූරියආරච්චි, කමිටු සාමාජිකයන් වන බන්දුල පත්මකුමාර, විජය කුමාර, ප්‍රියන්ත කුමාර, ජගත් චන්දන, මහින්ද කාර්යප්පෙරුම යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුව වෙත

