දඹදිව සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මැලේරියා උණ පරීක්ෂාව සිදු කර ගත යුතු බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකාව, මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වර්ෂ 2016 දී ප්‍රකාශ කර ඇති අතර දඹදිව සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් කිහිපදෙනෙකුට මැලේරියාව වැළඳී ඇති බව පසුගිය සතියේදී හඳුනාගෙන තිබේ.
තෙල්දෙණිය, පොල්ගොල්ල, වට්ටාරන්තැන්න සහ අගුණකොළපැලැස්ස වැනි ප්‍රදේශවලින් රෝගීන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති නමුත් එය ශ්‍රී ලංකාවට මැලේරියාව යළි ව්‍යාප්ත වීමට කිසිසේත් ම බල නොපාන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා පැවසීය.
බුද්ධශාසන අමාත්‍යාංශයේ දත්ත අනුව වාර්ෂිකව ලක්ෂ පහක පමණ පිරිසක් දඹදිව වන්දනාවෙහි යෙදෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මැලේරියා රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති රටවල් අතර ප්‍රධානපෙලේ ස්ථානයක් ඉන්දියාව උසුලන අතර ජන ඝනත්වය හා රටෙහි විශාලත්වය හේතුවෙන් එය මර්දන කිරීම ඉන්දියාවට ගැටලුවක් වී තිබේ.
දඹදිව සංචාරයෙහි නිරතවීමේදී මැලේරියාව බහුලව පවතින ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමට ද සිදුවන නමුත් නිසි ආරක්ෂිත ක්‍රියාමර්ග ගන්නේ නම් ඉන් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.
මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ලබා දෙන ඖෂධ පෙති භාවිතය සහ මදුරු දෂ්ටනවලින් හැකිතාක් වැළකී සිටිය යුතු බවත් සංචාරය නිම කොට ශ්‍රී ලංකාවට පැමිණි පසු වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගැනීම වඩා උචිත යැයි ද ඒ මහතා කීවේය.
එමෙන්ම දඹදිව වන්දනාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් රෝගී තත්ත්වයකට පත්වුණේ නම් ඔවුන්ට මැලේරියා පරීක්ෂාවක් කරන ලෙසට වෛද්‍ය අංශ දැනුවත් කළ බව ද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා සදහන් කළේය.

