96 ලෝක කුසලානය දිනූ ලාහෝර් ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව පළමු T20 තරගාවලි ජය ලබයි.

Sri Lanka tour of Pakistan at Lahore

Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07/10) පැවති දෙවැනි 20-20 තරගයෙන් ලකණු 35 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම 20-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව 20-20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් එම ජයග්‍රහණය ලැබුවේ 1996 ලෝක කුසලාන ජයගත් ලාහෝර් ක්‍රීඩාංගණයේදීම වීමද සුවිශේෂී සිදුවීමකි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 182 ක් ලබා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 48 කදී වේගවත් ලකුණු 77ක් ලබාගත්තේය.

ඔහුගේ ලකුණු 77 ට හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 4 ක් ඇතුළත් වූ අතර මෙය ඔහුගේ මංගල 20-20 අර්ධ ශතකය ද විය.

Sri Lanka tour of Pakistan at Lahore
Bhanuka Rajapaksa Source: Facebook

ඊට අමතරව ෂෙහාන් ජයසුරිය පන්දු 28 කදී ලකුණු 34 ක්ද නායක දසුන් ශානක පන්දු 15 කදී ලකුණු 27 ක්ද ලබා ශ්‍රී ලංකා පිළේ මුළු ලකුණු සංඛ්‍යාව 182 දක්වා ඉහළ දැමුවෝය.

ජයග්‍රාහී ලකුණු 183 ක් ලබාගැනීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණු 147 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත් අතර එකම ඕවරයක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් වනිඳු හසරංග පාකිස්තානයේ ජයග්‍රහණය උදුරා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂ හට හිමි විය.

20-20 තරග රටාවේ වත්මන් ICC ශ්‍රේණිගත කිරීමට අනුව පාකිස්තානය අංක එකේ පසුවන අතර ශ්‍රී ලංකාව අංක 8 පසුවෙයි.

පාකිස්තානය සමග පැවැත්වෙන 20-20 තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් එළඹෙන ඔක්තෝබර් 10 වන දින අළුයම 12.30 ට පැවැත්වීමට නියමිතය.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now