ආශ්චර්ය යැයි කියමින් අධිවේගී මාර්ග භාවිත කළත් ජන විරෝධය මැද දක්ෂිණ අධිවේගී මාර්ගයට මුලින්ම මුල්ගල් තැබුවේ තමන් යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ වර්ෂ 2002දී තමන් මුලින්ම මුල්ගල් තබන විට ඇතැම් මාධ්‍ය එය වාර්තා කළේ ගාල්ල නගරය මළ නගරයක් බවට පත් කිරීම සදහා කටයුතු කරන බව යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ගුණාත්මක මහජන මෙහෙවරක් සිදුකරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අැගයීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව වඩාත් කාර්යක්ෂම මහජන මෙහෙවරක් සිදු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රථම ස්ථානයට පත්වූ අතර දෙවන ස්ථානය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ තෙවන ස්ථානය මහනුවර කඩවත් සතර සහ ගගවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමිවිය.
සම්මාන ප්‍රදානය නිමිත්තෙන් පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා එහිදී මෙසේ ප්‍රකාශ කළේ ය.
"සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේදී බොහෝ පිරිසක් ඊට විරෝධය දක්වනවා නමුත් ඔවුන් එහි යහපත් ප්‍රතිඵල පිළිබඳව සිතා බැලීමක් කරන්නේ නැහැ අද බොහෝ දෙනෙක් අධිවේගී මාර්ග භාවිතා කලත් එහි ආරම්භය පිළිබඳව කිසිදු මතකයක් නැහැ. මුලින්ම අධිවේගී මාර්ගය සඳහා මම මුල්ගල් තබන විට වැඩි පිරිසක් කීවේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාර්යයක් වෙනුවෙන් තමන් මැදිහත් වන බවයි. ගාල්ල නගරය මළ නගරයක් බවට පත් කරන බව එදා මාධ්‍ය වාර්තා කළා. ඒ වන විට කොට්ටාවේ පැවති ජන විරෝධයක් පාලනය කිරීම සඳහා මැදිහත් වූ බව මට ඉතා හොඳින් මතකයි. නමුත් අද වන විට අධිවේගී මාර්ග සංකල්පය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි. මම මුල්ගල් තැබූ අධිවේගී මාර්ගය වර්ෂ 2007 දී විවෘත කිරීමට නියමිත වුවත් ආණ්ඩු මාරු වීම් නිසා එය සිදු වුණේ 2012. කොළඹ සිට මහනුවරට පැයක් වැනි කාලයකින් ගමන් කිරීම සඳහා අධිවේගී මාර්ගයක් අත්‍යවශ්‍යයි. ආරම්භයේ දී බොහෝ පිරිසක් ඊට විරුද්ධ වූ නමුත් වැඩි පිරිසකට අධිවේගී මාර්ගයේ අවශ්‍යතාවය දැනෙන්නේ බොහෝ කලක් ගතවූ පසුයි. අප රජය සංවර්ධන කටයුතු රැසක් දියත් කලත් ජනමාධ්‍ය තුළින් ඊට පුළුල් ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ජනමාධ්‍යයේ හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන් තවදුරටත් සිතා බැලිය යුතුයි. බටහිර ජනමාධ්‍යයේ එවැනි හැසිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍යවල තිබෙන්නේ ඕපදූප පමණක්ද යන්න යළිත් සිතා බැලිය යුතුයි. වෛරය ක්‍රෝධය වැපිරීම පමණක් නම් මාධ්‍යයෙන් පලක් නැහැ."
"රනිල් වික්‍රමසිංහ මහතා කැලණි ටයර් සංස්ථාව පුද්ගලීකරණය කරන විට ඇතැම් පිරිස් ඊට දැඩි විරෝධයක් පළ කොට උද්ඝෝෂණ කළා. නමුත් එය සිදුකළ නිසා අද ලංකාවෙ සියලුම බස් රථ වලට අවශ්‍ය ටයර් යොදා ගන්නේ මෙම කර්මාන්තශාලාවෙන්. මෙම කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක නොවුනේ නම් සියලුම බස්රථවලට ටයර් යොදාගැනීම අර්බුදයක් බවට පත් විය හැකියි. ඉන්දීය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ දී ද වැඩි පිරිසක් විරෝධය පළ කළා. ඉන්දියාවේ පවතින තත්ත්වය විශ්ලේෂණය කරමින් එය ශ්‍රී ලංකාවට උචිත නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. නමුත් මෙම සේවාව නිසා අද කී දෙනෙකු දිවි රැක ගෙන තිබේද?. ඉන්දීය ගිලන් රථ සේවාව ඇති වූ විරෝධය නිසා මම එය මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයට ලබා ගැනීමට ක්‍රියා කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව සෙසු දිස්ත්‍රික්කවල ද මෙම ගිලන් රථ සේවය ඉතාමත්ම සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙනවා. රටක් දියුණුව කරා යාමේදී විශ්‍රාමික රාජ්‍ය සේවකයන් යළිත් රාජ්‍ය සේවයට යොදා ගැනීම අවශ්‍ය බව මම පෙන්වා දුන්නා. ලක්ෂ පහ හමාරක් පමණ වන විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගෙන් ඇතැම් පිරිස් තවමත් සක්‍රීය අයුරින් රාජ්‍ය සේවයට දායක කළ ගත හැකියි. නමුත් ඇතැමුන් ඊට චෝදනා කළේ තරුණ තරුණියන්ට අවස්ථාව නොදෙන බව කියමින්. ආර්ථික විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් නොමැති අය එවැනි චෝදනා කළත් එම චෝදනා පදනම් විරහිත බව පැහැදිලියි." යනුවෙන්ද ඔහු පැවසීය.

