ළමා අපයෝජන චෝදනා සදහා කාදිනල් George Pell හට වික්ටෝරියානු පොලීසිය චෝදනා ගොනු කරයි

Pell

Cardinal George Pell attends a press conference at the Vatican Radio headquarters, in Rome in 2015. Source: AP

වසර ගණනාවකට පෙර සිදු කල ළමා අපයෝජන ක්‍රියාවන් සදහා වික්ටෝරියානු පොලීසිය ජ්‍යෙෂ්ඨතම ඕස්ට්‍රේලියානු කතෝලික පුජකවරයා වන කාදිනල් George Pell හට චෝදනා කීපයක් ගොනු කොට තිබේ. අදාල චෝදනා අසත්‍ය බවත්, තමන් නිර්දෝෂී බවත් ඔහු වතිකානුවේ සිට මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට ඕස්ට්‍රේලියාවට  පැමිණීමට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තමන්ට අවසර ලබාදුන් බව  කාදිනල් George Pell අනාවරණය කර තිබේ.

වසර දෙකක් තිස්සේ මෙම කාරණය  පිළිබද පරීක්ෂණ පැවැත්වුණු බවත්, මාධ්‍ය වෙත අනවශ්‍ය තොරතුරු හිමි වී ඇති බවත් මේ නිසා නිර්ධය ලෙස තම චරිතය ඝාතනය කර ඇති බවත් කාදිනල් George Pell පවසයි.

තමන්ට එරෙහි චෝදනා ගොනු කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට මාසයක පමණ කාලයක් ගත වූ බවත්, අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීමට තමන් සුදානම් බවත් කාදිනල් Pell ප්‍රකාශ කර තිබේ.

තමන්ට එල්ල වී ඇති ළමා අපයෝජන චෝදනා ඉතා පිළිකුල් සහගත බවත් අදාල කාරණය  පිලිබදව තමන් නිරන්තරයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැනුවත් කල බවත් ඔහු පවසයි.

තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට ඕස්ට්‍රේලියාවට යාමට තමන් රාජකාරි වලින් නිදහස් කිරීම පිලිබදව පාප්  වහන්සේට තමන් කෘතඥ වන බවද කාදිනල් Pell ප්‍රකාශ කළේය. තමන් අධිකරණයේ ඉදිරියේ පෙනී සිටිය යුතු කාල වකවානු පිලිබදව තම නීතිඥයින් සමග සාකච්චා කල බවත්, මේ කාරණයේදී තමන් කටයුතු කල යුතු ආකාරය පිලිබදව වෛද්‍ය උපදෙස් ලබාගත් බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

දිගින් දිගටම තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කල බවත්, අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට දැන් අවස්ථාවක් උද වී ඇති බවත් කාදිනල් Pell සදහන් කර තිබේ. තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමෙන් අනතුරුව නැවතත් රෝමයට පැමිණ තම රාජකාරි කටයුතු ආරම්භ කිරීම ඔහුගේ අදහස වී ඇති බව සදහන්.

කාදිනල් George Pell ට එරෙහිව ළමා ලිංගික අපයෝජන චෝදනා කීපයක් ගොනු කොට ඇති බව වික්ටෝරියානු පොලීසිය  ස්ථිර කර තිබේ. පැමිණිලි කීපයක් පදනම් කරගෙන අදාල චෝදනා ගොනු කර ඇති බව සදහන්. පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 29) අදාල චෝදනා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කොට, කාදිනල් Pell ගේ නියෝජිතයින් හට අදාල චෝදනා භාර දී ඇති බව වාර්තා වෙයි. අදාල චෝදනා අධිකරණය ඉදිරියේ මෙතෙක් පරික්ෂණයට භාජනය වී නොමැති බවත්, කාදිනල් George Pell ජුලි මස 18 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවත් වික්ටෝරියානු ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Shane Patton අවධාරණය කරයි. සම්මත නීති ක්‍රියා පටි පාටියට  අනුව අනෙක් විත්තිකරුවන් පිලිබදව කටයුතු කරන ආකාරයෙන්, කාදිනල් Pell පිළිබදවද මෙහිදී කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වරයා වැඩි දුරටත් පවසයි. මේ සිද්ධිය පිළිබද විවධ අනුමාන මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වුනත්, අතීතයට අදාල ලිංගික අපයෝජන ක්‍රියාවන් වලදී පොලීසිය  කටයුතු කරන සම්මත ක්‍රමවේදයට අනුව මෙම පරීක්ෂණය සිදු වූ බවත් ඔහු සදහන් කරයි.

කාදිනල් George Pell හට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා පිළිබද විස්තර මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති බව සදහන්.

 

 කාදිනල් George Pell දැනට වතිකානුවේ රැදී සිටින නිසා ඔහු ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම තරමක් සංකීර්ණ බව සදහන්. වතිකානුව සහ ඕස්ට්‍රේලියාව  අතර අපරාධකරු සියරට භාරදීම පිළිබද (extradition treaty) නොමැති නිසා මෙය සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබේ.

මෙය වැදගත් සන්ධිස්ථානයක්

අදාල අපයෝජන වලට ලක් වූ බව කියන අයගෙන් සැදුම්ලත් කණ්ඩායම් පවසන්නේ වික්ටෝරියානු පොලිසිය මගින් අදාල චෝදනා ගොනු කිරීම ඉතා වැදගත් සංදිස්ථානයක් බවයි. පුජකයින්ගෙන් අපයෝජනයට ලක්වුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන Survivors Network of those Abused by Priests (SNAP) නැමති සංවිධානය පවසන්නේ මේ  

සම්බන්දයෙන් පාප් වහන්සේගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් තමන් බල සිටින බවයි. ළමා කාලයේ අපයෝජනයට ලක් වැඩිහිටියන් නියෝජනය කරන සංවිධානයක් වන Blue Knot පදනම පවසන්නේ මෙවැනි අපයෝජන වලට ලක් වූවන්ට මෙමගින් හොඳ පණිවිඩයක් ලබා දෙන බවයි. කිසිම අයෙකුට නීතිය  අභිබවා යා නොහැකි බව මෙමගින් පසක් කර දී ඇති බව එම සංවිධානයේ ප්‍රකාශිකා ආචාර්ය Pam Stavropoulos පවසයි.  

පුර්ව නිගමන වලට එළබිය නොහැකියි

මේ පිලිබදව පුර්ව  නිගමන වලට එලබිය නොහැකි බවත්, ඒ නිසා නිදොස් බවේ පූර්වානුමිතිය කාදිනල් Pell හට හිමි විය යුතු බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අමාත්‍ය වරයෙක් වශයෙන් කටයුතු කරන Martin Foley පවසයි.  කාදිනල් George Pell මේ සම්බන්දයෙන් පොලිසිය හමුවේ, පාර්ලිමේන්තුව හමුවේ සහ රාජකීය කොමිසමක් හමුවේ පිළිතුරු ලබාදී ඇතත් නිර්දය ලෙස ඔහුගේ චරිතයට හානි සිදු වෙමින් පවතින බව සිඩ්නි නුවර අගරදගුරු Anthony Fisher පවසයි. පසුගිය වසරේ කාදිනල් Pell ගෙන් කට උත්තර ලබා ගැනීමට වික්ටෝරියානු පොලිස් නිලධාරීන් පිරිසක් රෝමයට ගිය බවද වාර්තා වෙයි.


4 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now