Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සීතල යුධ මානසිකත්වයෙන් මිදෙන්නැයි චීනය ඔස්ට්‍රේලියාවට පවසයි : අප්‍රේල් 29 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 29 වන දා බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Chinese Foreign Ministry spokesman Zhao Lijian
FILE - Chinese Foreign Ministry spokesman Zhao Lijian Source: KYDPL KYODO

Highlights

  • පසුගාමී වුවත් කොරෝනා එන්නත් වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකෙරෙන බව ඕස්ට්‍රේලියා අගමැති අවධාරණය කරයි
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 9දෙනෙකු වාර්තා වෙයි
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල කොරෝනා සීමා ලිහිල් කිරීමට සැලසුම්
  • ඇතැම් ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ගැටලු ඇති කරන්නන් බවට චීනයෙන් චෝදනා
  • ශ්‍රී ලංකාවේත් සීග්‍රයෙන් පැතිර යන්නේ  එංගලන්ත කොරෝනා ප්‍රබේදය බවට තහවුරු වේ 
  • බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට ඔක්සිජන්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් උපදේශන සේවා

පසුගාමී වුවත් කොරෝනා එන්නත් වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකෙරෙන බව ඕස්ට්‍රේලියා අගමැති අවධාරණය කරයි

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පුද්ගලයින් හට කොරෝනා එන්නත් මිලියන 2කටත් වඩා ලබා දී තිබේ.කෙසේ නමුත් මේ වනවිටත් ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දැඩි පසුගාමී තත්වයක පවතින බව බලධාරීන් පෙන්වා දෙයි.

තවමත් ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටියන් ඇතුලු සියලුම ප්‍රමුඛතා කණ්ඩායම් ආවරණය වන පරිදි එන්නත් ලබාදීම සිදුව නොමැති අතර කෙසේ නමුත් මෙම එන්නත් වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අවධාරණය කොට සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ ලබන මස සිට වයස 50ට වැඩි පිරිස සඳහා පවුල් වෛද්‍යවරුන් හරහා AstraZeneca එන්නත් ලබාදීම පිළිබඳවද අවධානය යමු කරන බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු හෙද හා වින්නඹු මාතාවන් සඳහා වන ප්‍රධාන නිලධාරී Alison McMillan ජනතාවට සඳහන් කොට සිටින්නේ කොරෝනා එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා යොමු වන ලෙසයි.

එමෙන්ම කොරෝනා එන්නත දරුණු රෝග සහ මරණ වැලැක්වීම සඳහා ඵලදායි වන බවද ඇය සඳහන් කොට සිටී.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 9දෙනෙකු වාර්තා වෙයි

මෙමගින් ආසාදිතයින් 7 දෙනෙකු Sunshine Coast හි නැංගුරම් ලා ඇති ඉන්ධන ප්‍රවාහන නවුකාවක කාර්යමණ්ඩල සාමාජිකයින් වන අතර සෙසු ආසාදිතයින් දෙදෙනා හෝටල් නිරෝධායානයේ පසුවන්නන් වේ.

බ්‍රිතාන්‍ය ධජය සහිත මෙම ඉන්ධන ප්‍රවාහන නවුකාව මගින් ඉදිර්යේදී තවත් ආසාදිතයින් වාර්තා වීමට ඉඩ පවතින අතර මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් හට නවුකාව තුලදීම ප්‍රතිකාර සිදු කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්ත රජය කටයුතු කරමින් සිටින බව එම ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Steven Miles සඳහන් කොට සිටී.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල කොරෝනා සීමා ලිහිල් කිරීමට සැලසුම්

පසුගිය සති අන්තයේ පැවති lockdown තත්වයෙන් පසු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල කොරෝනා සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සැලසුම් ඉදිරිපත් කිරීමට එම ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan සුදානම් වේ.

මේ අනුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා මේ වනවිට පවතින සීමා එම ප්‍රාන්ත වේලාවෙන් හෙට මධ්‍යම රාත්‍රිය දක්වා පවතින අතර මුහුණු ආවරණ පැළඳීම සහ පුද්ගල එක්රැස්වීම් සීමා වේ.

එමෙන්ම West Coast සහ Fremantle යන ප්‍රදේශ සඳහා වන සීමාවන් සම්බන්ධයෙන්ද ලබන මැයි මස 2වැනිදා ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සුදානම්ව සිටී.

මේ වනවිට ප්‍රාන්තය තුල Pubs සහ සමාජ ශාලා සඳහා වන පුද්ගල සීමාව 20 දෙනෙකු සඳහා පමණක් වන අතර සෙසු බොහෝ ස්ථාන නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.

ඇතැම් ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ගැටලු ඇති කරන්නන් බවට චීනයෙන් චෝදනා

සීතල යුධ මානසිකත්වයෙන් ඉවත් වන ලෙස චීනය ඕස්ට්‍රේලියානු දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම ඔවුන් සඳහන් කොට සිටින්නේ ඇතැම් ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ගැටලු ඇති කරන්නන් වන බවයි.

කලාපය තුල ගැටුම් සඳහා සුදානම් වන ලෙසට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ලේකම් Mike Pezzullo පසුගියදා සිදු කල ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියාව සහ චීනය දිගු කලක් තිස්සේ සහයෝගය මත ප්‍රතිලාබ ලබා ඇති අතර දෙපාර්ශවය අතර සාමය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේත් සීග්‍රයෙන් පැතිර යන්නේ එංගලන්ත කොරෝනා ප්‍රබේදය බවට තහවුරු වේ

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සීග්‍ර ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරස ප්‍රබේදය එංගලන්ත වෛරස ප්‍රබේදය බවට තහවුරු වී තිබේ.

B.1.1.7 ලෙස හැඳින්වෙන මෙම කොරෝනා වෛරස ප්‍රබේදය පසුගිය ජනවාරි මසදී මුල් වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති අතර මෙම අප්‍රේල් මස මුලදීද මෙම කොරෝනා වෛරස ප්‍රබේදය අසාදිත පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් වර්තා වී තිබේ.

කෙසේ නමුත් මෙම වෛරස ප්‍රබේදයේ ඇලෙනසුලු බවක් සහ ඉක්මනින් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින අතර මේ වනවිට ශ්‍රී ලංකාව පුරා සීග්‍ර ලෙස පැතිර යමින් පවතිනුය් මෙම වෛරස ප්‍රබේදය බවට පරීක්ෂණ ඔස්සේ තහවුරු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු සඳහන් කොට සිටින්නේ මේ වනවිට අසල්වැසි ඉන්දියාව තුලද සීග්‍ර ලෙස පැතිර යමින් පවතින්නේ මෙම වෛරස ප්‍රබේදයම වන අතර මෙමගින් මරණ සිදු වීමේ දැඩි අවධානමක්ද පවතින බවයි.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 1450 දෙනෙකු ඉක්මවා වාර්තා වී ඇති අතර මෙය එක් දිනක් තුලදී ශ්‍රී ලංකාවෙන් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංක්‍යාව ලෙස වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකවෙන් ඊයේ දිනයේදී කොරෝනා මරණ 6ක්ද වර්තා වී තිබේ.

බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට ඔක්සිජන්

මේ වනවිට ඉන්දියාව තුල උද්ගතව ඇති තත්වය හමුවේ ඔක්සිජන් නිෂ්පාදනය කරන උපකරණ 3ක් ලබාදෙන බව බ්‍රිතාන්‍යය නිවේදනය කොට තිබේ.

කන්ටේනරයක පමණ විශාලත්වයකින් යුත් මෙම උපකරණයක් මගින් විනාඩියක් තුලදී ඔක්සිජන් ලීටර 500ක් නිපදවීමේ හැකියාව පවතින අතර එය වරකට පුද්ගලයින් 50 දෙනෙකුට භාවිත කල හැකි වේ.

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍ය James Cleverly සඳහන් කොට සිටින්නේ සෑම විටම ඉන්දියාවට සහාය දැක්වීමට බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 360,000ක් වාර්තා වී ඇති අතර දිනකදී සිදු වන මරණ සංක්‍යාව 200.000 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් උපදේශන සේවා

පසුගියදා මාතර හෝටලයකදී ගැටුම්කාරී සිද්ධියකට හේතුවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වසරක කාලයක් සඳහා උපදේශන ක්‍රියාවලියකට යොමුකළ යුතු බව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබේ.

ක්‍රීඩකයාගේ එම හැසිරීම වෘත්තීමය නොවන බවත් එය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු නොවන තත්ත්වයක් බවත් එම කමිටුව පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට සිටින්නේ කමිටුව හෙළිකර ගත් කරුණු සහ නිර්දේශ මත එම ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුව අවවාද කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තිය ගෙනදෙන කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙසද ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් බලධාරීන් අවවාද කොට තිබේ.


5 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now