Highlights
- AstraZeneca එන්නත භාවිතයට ආරක්ෂිත බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
- COVID-19 එන්නත ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් Online පද්ධතියක්.
- මුව ආවරණ නොපළඳින මගීන් හසු කරගැනීමට වික්ටෝරියානු පොදු ප්‍රවාහන සේවාවල අද සිට විශේෂ මුර සංචාර.
- ඉන්දියාවේ සිට මගීන් 165 ක් රැගත් දෙවැනි විශේෂ ගුවන් යානයත් ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.
- තවදුරටත් ප්‍රකෝපකාරී හැසිරීම් වළක්වා ගන්නා ලෙස සටන් විරාමයේ සිටින ඊශ්‍රායලයට සහ පලස්තීනයට ජගත් සංවිධානයෙන් උපදෙස්.
- ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33 ක පහසු ජයක්.
AstraZeneca එන්නත භාවිතයට ආරක්ෂිත බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයෝ පවසති
මේ සතියේ සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය යළි රැස්වීමට නියමිතය.
එහිදී ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන, විදෙස්ගතව සිට පැමිණෙන්නන්ව නිරෝධායනය කිරීම සහ ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ඇත.
ඔස්ට්‍රේලියාවේ සතියකට පළමු වරට COVID-19 එන්නත් 500,000 ක් ලබා දී ඇති අතර මේ වන විට ලබා දී ඇති මුළු COVID-19 එන්නත් ප්‍රමාණය මිලියන 3.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එනමුත් පසුගිය මාර්තු අග වන විට ඔස්ට්‍රේලියාවට COVID-19 එන්නත් මිලියන 4 ක් ලබා දීමේ සැලසුමට වඩා තවමත් එය පසුපසින් සිටියි.
තමන්ගේ ඛාණ්ඩය යටතේ සුදුසුකම් ලත් විගස COVID-19 එන්නත ලබා ගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පසුගිය සති කිහිපය තුළ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබා ගැනීමට හැකි වී තිබෙන නමුත් ඇතැම් පුද්ගලයින් Pfizer එන්නත පැමිණෙන තෙක් බලා සිටින බව වාර්තා වේ.
මේ වසරේ සිව්වන කාර්තුවේදී Pfizer එන්නතේ මාත්‍රාවන් මිලියන 20 ක් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවද සඳහන්.
මේ අතර AstraZeneca එන්නත භාවිතයට ආරක්ෂිත බව විශේෂඥයන් විසින් තීරණය කර තිබෙන අතර එනිසාම හැකි ඉක්මනින් මෙම එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීහු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිති.
AstraZeneca එන්නත සමඟ මෑතකදී වාර්තා වූ අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ සින්ඩ්‍රෝමය වන ත්‍රොම්බෝසයිටොපීනියා සින්ඩ්‍රෝමය සඳහා ප්‍රතිකාර කළ හැකි බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික හා උපදේශන කණ්ඩායම ඊයේ පැවසුවේය.
ඔස්ට්‍රේලියානුවාසීන් ඉක්මණින් කොරෝනා එන්නත ලබාගතහොත් ඔස්ට්‍රේලියානු දේශ සීමා ද ඉක්මණින් විවෘත කිරීමට හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Omar Khorshid පැවසුවේය.
AstraZeneca එන්නත සමඟ මෑතකදී වාර්තා වූ අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ සින්ඩ්‍රෝමය මේ දක්වා ඔස්ට්‍රේලියානුවන් 25 දෙනෙකුට හටගෙන තිබෙන බවත් ඉන් එක් පුද්ගලයකු පමණක් මරණයට පත්වූ බවත් වාර්තා වේ.
මේ අතර එළඹෙන ඔක්තෝබර් මස ආරම්භයේ සිට සෑම සතියකම ඔස්ට්‍රේලියාවට Pfizer එන්නතේ මාත්‍රා මිලියන 2 ක් තිබිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
COVID-19 එන්නත ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් Online පද්ධතියක්
COVID-19 එන්නත ලබාගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකි පද්ධතියක් මැයි 25 වන දින සිට දියත් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සූදානම් වේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රජා සහ රෝහල් පදනම් කරගෙන පිහිටුවා ඇති කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන වලින් කොරෝනා එන්නත ලබාගැනීමට මෙම පද්ධතිය හරහා හැකියාව ලැබේ.
මේ දක්වා බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන් 360,000 කට අධික පිරිසක් කොරෝනා එන්නත ලබාගෙන තිබේ.
1B ඛාණ්ඩයේ සිටින අයට, බරපතල සෞඛ්‍ය තත්ත්වයන් සහිත තරුණ වැඩිහිටියන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙන බව සඳහන්.
AstraZeneca එන්නත හා සම්බන්ධ දුර්ලභ රුධිරය කැටි ගැසීමේ සිදුවීම පිළිබඳ නොතකා සෑම කෙනෙකුම මෙම කොරෝනා එන්නත ලබා ගත යුතු බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
මුව ආවරණ නොපළඳින මගීන් හසු කරගැනීමට වික්ටෝරියානු පොදු ප්‍රවාහන සේවාවල අද සිට විශේෂ මුර සංචාර
මගීන් මුව ආවරණ පළඳිනවා ද යන්න පරීක්ෂා කිරීම සඳහා වික්ටෝරියානු බලධාරීන් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවල අද සිට (24/05) මුර සංචාර ආරම්භ කිරීමට නියමිතය.
එහිදී මුව ආවරණ නොමැති මගීන්ට මුව ආවරණ ලබාදීම හෝ ඒවා පැළඳීම ප්‍රතික්ෂේප කරන මගීන්ට දඩ මුදල් ලබා දීම ආරම්භ කෙරෙනු ඇත.
සමීක්ෂණ දත්ත වලට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ මගීන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දුම්රිය හා ට්‍රෑම් රථවල මුව ආවරණයක් පැළඳ සිටී.
ඉන්දියාවේ සිට මගීන් 165 ක් රැගත් දෙවැනි විශේෂ ගුවන් යානයත් ඔස්ට්‍රේලියාවට පැමිණෙයි
ඉන්දියාවේ සිට මගීන් 165 ක් රැගත් දෙවැනි විශේෂ ගුවන් යානය පසුගිය සති අන්තයේදී ඩාවින් නුවරට පැමිණියේය.
මේ වන විට ඉන්දියාවේ 11,000 ක් පමණ ඔස්ට්‍රේලියානුවන් සිරවී සිටින අතර ඉන්දියාවේ සිට ආපසු ඔස්ට්‍රේලියාවට ඔවුන්ව ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් ගමන් අටක් ජුනි මස හතර වන විට දියත් කිරීමට රජය අපේක්ෂා කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව දෙමාපියන් නොමැතිව ඉන්දියාවේ සිරවී සිටින තම දරුවන්ව යළි ඔස්ට්‍රේලියාවට ගෙන ඒම සඳහා මීට වඩා වැඩ කොටසක් කරන ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින දරුවන්ගේ දෙමව්පියන් රජයෙන් ඉල්ලා සිටියි.
තම දෙමාපියන් නොමැතිව ඔස්ට්‍රේලියානු දරුවන් 173 දෙනෙකු මේ වන විට ඉන්දියාවේ සිරවී සිටින බව සඳහන්.
කොරෝනා වයිරසය ශීග්‍රව පැතිරී යාම හේතුවෙන් ඉන්දියාව මේ වන විට බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් සිටී.
තම දරුවාව ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට ගෙන ඒමේදී හිතවතෙකු හෝ පවුලේ අයකු සමග පැමිණීම සඳහා ඔස්ට්‍රේලියානු රජය තමාට උදව් කිරීමට අපොහොසත් වූ නිසා තමාට ආගන්තුකයෙකුව විශ්වාස කිරීමට සිදු වූ බව Harpinder Romana පැවසුවාය.
තවදුරටත් ප්‍රකෝපකාරී හැසිරීම් වළක්වා ගන්නා ලෙස සටන් විරාමයේ සිටින ඊශ්‍රායලයට සහ පලස්තීනයට ජගත් සංවිධානයෙන් උපදෙස්
ඊශ්‍රායලය හා පලස්තීනය අතර පසුගියදා ඇතිවූ නවතම සටන් අවසන් කිරීම සඳහා ගනු ලැබූ සටන් විරාමයෙන් පසුව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ගාසා තීරයේ විනාශයේ තරම පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ.
එම ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ ගොඩනැගිලි 300 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර රෝහල් ගණනාවකට ද හානි සිදුව ඇති බව පලස්තීනය සඳහා එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක Lynn Hastings පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා කළ හැකි දේ කරමින් සිටින බවත් තවදුරටත් ප්‍රකෝපකාරී හැසිරීම් වළක්වා ගන්නා ලෙසත් දෙරටටම ඇය පවසා සිටියාය.
හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 4,000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර සටන්කාමීන්ගේ ඉලක්ක යැයි සැලකු ස්ථාන වෙතට ඊශ්‍රායලය ද සිය ගණනක් ගුවන් ප්‍රහාර එල්ල කළේය.
එහිදී පුද්ගලයින් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත් ඉන් වැඩි පිරිසක් පලස්තීන ජාතිකයින් බවත් සඳහන්.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් අවම වශයෙන් 200 ක් පමණ සටන්කාමීන් බව ඊශ්‍රායලය පවසයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33 ක පහසු ජයක්
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඩකා නුවරදී පැවති පළමු එක් දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 33 ක ජයක් අත්කරගත්තේය.
කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 257 ක් රැස් කිරීමට සමත්විය.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim අගනා ලකුණු 84 ක් රැස් කළේය.
ජයග්‍රාහී ලකුණු 258 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවකදී ලකුණු 224 කට සියල්ලන්ම දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
පන්දු 60 කදී ලකුණු 74 ක් ලබාගනිමින් වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත විය.
තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයේ Mushfiqur Rahim හට හිමි විය.
දෙරට එතර දෙවැනි එක් දින තරගය හෙට දිනයේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට ආරම්භ වේ.

