ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය නිරාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වත්මන් බලය හොබවන කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය දිගින් දිගටම ගැටෙමින් සිටින අතරේ කම්කරු ආන්ඩුවට double dissolution මැතිවරණයකට මුහුණ දීමට සිදුවේදැයි යන ප්‍රශ්නය මතු වී තිබේ.
පසු ගිය සතියේ කම්කරු පක්ෂ රජය ඉදිරිපත් කළ Housing Australia අනාගත අරමුදල පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ග්‍රීන්ස් පක්ෂය සහයෝගය නොදුන් නිසා එය ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමට රජයට සිදු විය.
කුලී නිවැසියන්ගේ මුල්‍ය දුෂ්කරතාව තවමත් ප්‍රධාන ප්‍රශ්නයක් බව පවසමින් ග්‍රීන්ස් පක්ෂය එම යෝජනාවට සහාය දීමෙන් වැළකී සිටියේය.
කම්කරු රජයේ නිවාස පනත් කෙටුම්පත සම්මත කරගැනීම දැන් දෙවරක් ප්‍රමාද වී ඇති අතර, double dissolution මැතිවරණයක් කැඳවීමට අවශ්‍ය නිමිත්ත ඒ අනුව මතු විය හැකිය.
Double dissolution මැතිවරණයක් ක්‍රියාත්මක වන ආකාරය සහ ඊළඟට සිදුවිය හැකි දේ පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Double dissolution මැතිවරණයක් යනු කුමක්ද?
Double dissolution යනු පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසර දී ඇති ක්‍රියා පටිපාටියකි.
Double dissolution හෙවත් ද්විත්ව විසුරුවා හැරීමකදී, ආණ්ඩුකාරවරයා විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව සහ පහළ මන්ත්‍රණ සභාව යන දෙකම එකවර විසුරුවා හරියි, එනම් පාර්ලිමේන්තුවේ සෑම ආසනයකටම මැතිවරණයක් හරහා යළි තරඟ කිරීමට සිදුවේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සියලුම සෙනෙට් සභිකයින් එකවර මැතිවරණයකට ඉදිරිපත් වන එකම අවස්ථාව මෙයවේ.
ද්විත්ව විසුරුවා හැරීමක් සිදුවිය හැක්කේ බලය පිළිබඳ ඇතැම් අර්බුදකාරී අවස්ථා හමු වූ විට පමණක් වන අතර සාමාන්‍යයෙන් එය අගමැතිගේ ඉල්ලීම මත සිදුවේ.
ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 වැනි වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයා විසින් අවස්ථා හතකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව සහ පහළ මන්ත්‍රණ සභාව එකවර විසුරුවා හැර ඇත.
1914, 1951, 1974, 1975, 1983, 1987 යන වසරවල මෙන්ම 2016 වසරේ Malcolm Turnbull අගමැතිවරයාව සිටි කාලයේද මෙය සිදුවී තිබේ.
නිවාස පනත නිසා double dissolution මැතිවරණයකට යයිද?
කම්කරු පක්ෂ රජය යෝජනා කළ නිවාස පනත සම්මත කිරීම ප්‍රමාද කිරීමට ග්‍රීන්ස් පක්ෂයේ ක්‍රියාමාර්ගය double dissolution මැතිවරණයකට නිමිත්තක් විය හැකිද යන්න පිළිබඳව රජය උපදෙස් ඉල්ලා ඇත.
නමුත් එය සැබවින්ම සිදුවේද නැද්ද යන්න තවමත් පැහැදිලි නැත.
වත්මන් කම්කරු පක්ෂ ආන්ඩුව double dissolution මැතිවරණයක් අපේක්ෂා කරනු ඇතැයි තමන් නොසිතන බව ජුනි 25 වන දින ABC හි Insiders වෙත අදහස් දක්වමින්, Australian Financial Review තීරු රචක Jennifer Hewett කියා සිටියාය.
"ඇත්ත වශයෙන්ම නැත ... එසේ කළහොත් ආරම්භයක් ලෙස කම්කරු පක්ෂයෙන් සෙනෙට් සභාවට තේරී පත් වීමට අවශ්‍ය ප්‍රතිශතය අඩකින් අඩු කරනු ඇත, එබැවින් සෙනෙට් සභාව තුළ තවත් ස්වාධීන සභිකයින් සහ වෙනත් පක්ෂවල සභිකයින් පත්වීමේ සම්භාවිතාව වැඩි කරයි" ඇය පැවසුවාය.
Double dissolution මැතිවරණයක් ග්‍රීන්ස් පක්ෂයට ද අවදානමක් ගෙනදිය හැකි බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයේ මහාචාර්ය Mark Kenny පැවසුවේය.
තම ආණ්ඩුවට ලැබුණු සම්පූර්ණ පාලන කාලයම ආණ්ඩුකරණය කළ යුතු යැයි තමා විශ්වාස කරන අතරම, ග්‍රීන්ස් පක්ෂය මීළඟට කරන්නේ කුමක්දැයි බලා සිටින බව අගමැති Anthony Albanese පැවසීය.
නිවාස කුලිය වැඩි කිරීමට සීමා පැනවීම කම්කරු රජය නොකරන බව දන දැනත් එයට එකඟ වනතුරු නිවාස පනතට ඡන්දය දීමට ග්‍රීන්ස් පක්ෂය බලා සිටින බවට ඔහු චෝදනා කළේය.
"මෙය මැතිවරණ ප්‍රචාරක අවස්ථාවක් නොවේ, මෙය ප්‍රතිපත්තිමය විසඳුමක් විය යුතුයි,” අගමැති Anthony Albanese, Sky පුවත් වෙත පැවසීය.