ජාතික ආණ්ඩුවතුළ රැදී සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.
පියවර හා ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා බව අද (06/06) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේය.
මහනුවරට පැමිණි ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහාවිහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.
තමන්ට ලබාදී ඇත්තේ දින 40ක ඉලක්කයක් යැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“වර්ෂ 2020දී තනි රාජ්‍ය බලයක් සහිතව බලය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමයි අරමුණ. මේ සදහා ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ විරෝධී මන්ත්‍රිවරුන් මෙන්ම, වාමාංශිකයන් හා පක්ෂයට සුදුසු අයගෙන් සමන්විත පුළුල් ජාතික පෙරමුණක් සකස් කිරීම අපේක්ෂාවයි. අධිරාජ්‍යවාදී විරෝධී, ජාතික වාදී, ස්වදේශවාදී සියලු පක්ෂ සමග සාකච්ඡා කොට ඔවුන්ගේ සහය ලබාගැනීමට ද අප කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධිමත්ව දුර දැක්මෙන් යුතුව තීන්දු තීරණ ගැනීම නිසා ගැටලු රැසකට සාධාරණ විසදුම් ලැබුණා. මහා පරිමාණයේ මහ බැංකු මූල්‍ය වංචාව හෙළිකළ යුතු යැයි දිගින් දිගටම එතුමා තීරණය කළා. ඒ නිසයි අද සියලු දේ හෙළි කර ගැනිමට හැකියාව ලැබී තිබෙන්නේ.”
නව ලිබරල්වාදී ක්‍රමයක් තුළ සියලු ගැටලු නිරාකරණය කර ගැනීම පහසු නැතැයි ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.

