ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානයට ලකුණු 67 ක ජයක්.

Sri Lanka tour of Pakistan at Karachi,

Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර ඊයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී  පැවති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු 67 කින් ජයගත්තේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 7 කට ලකුණු 305 ක් ලබාගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් Babar Azam ලකුණු 115 ක් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 46 යි පන්දු 5 කදී ලකුණු 238 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 177 ක සම්බන්ධතාවය යම් තරමකට ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු ඉහළ දැමීමට සමත් වුවද එය ප්‍රමාණවත් නොවීය.

මෙම සම්බන්ධතාව සමඟ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවයේ වසර 11 ක් පැරණි වාර්තාව බිඳ වැටුණි.

Sri Lanka tour of Pakistan at Karachi,
Source: Facebook

චාමර සිල්වා සහ චාමර කපුගෙදර 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හයවැනි කඩුල්ලට ලකුණු 159 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාවට හිමිකම් කීහ.

දසුන් ශානක පන්දු 80 කින් ලකුණු 68 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

ෂෙහාන් ජයසූරිය පන්දු 109 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 96 ක් ලබා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක් දින තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 8 ට ආරම්භ වේ.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now