Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශරීරගත වූ සර්ප විෂ හදුනා ගැනීම සදහා නව ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. (වීඩියෝ සහිතයි)

Snake Bites

Source: SBS

ශරීරගත වූ සර්ප විෂ හදුනා ගැනීම සදහා නව ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් හදුන්වා දී තිබේ.

විෂ ශරීරගත වූ විට එය කුමන සර්ප විශේෂයකදැයි හදුනා ගැනීම සදහා මේ දක්වා ක්‍රමවේදයක් නොතිබුණු නමුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ජෛව රසායන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය කළණ මාදූවගේ මහතා, ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විෂ පිළිබද අධ්‍යයන අංශය හා එක්ව මෙම නව පර්යේෂණය දියත් කොට තිබේ.

මේ දක්වා සර්ප විෂ හදුනා ගනු ලැබුවේ රෝගියාගේ රෝග ලක්ෂණ හා රුධිර පරීක්ෂණ ඇසුරින් වන නමුත් ඒ සදහා රෝගියාගේ සියලු ශරීර අවයව පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදයක් තුළින් නව ප්‍රතිකාර හදුනාගැනීම සිදුකර ඇතැයි ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

රෝගියාගේ ශරීර අවයව පෙන්නුම් කරන වෙනස්කම් තුළින් ශරීරගතවන විෂ නව ක්‍රමවේදය මගින් හදුනා ගැනීමේ හැකියාව පවතී.

රුධිර පරීක්ෂාව හා රෝගියාගේ හැසිරීම වෙනස්වීම සදහා යම් කාලයක් ගත වන බැවින් එහිදී රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වීම නව ප්‍රතිකාර ක්‍රමය මගින් වැළැක්වේ.

ඒ අනුව රෝහල්ගත කළ වහාම රෝගියාට ශරීරගත වූ විෂ හදුනාගනිමින් ප්‍රතිවිෂ එන්නත් කිරීමේ හැකියාව ඇතැයි කී ආචාර්ය මාදූවගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“රෝගියෙකු බාහිරව පරීක්ෂා කොට ශරීරගත වූ සර්ප විෂ කුමක්දැයි හදුනා ගැනීමක් මේ දක්වා ලොව කිසිදු රටක තිබුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ විෂ පිළිබද අධ්‍යයන අංශය හා සිදුකළ පර්යේෂණ තුළින් නව ප්‍රතිකාර ක්‍රමය හෙළි කිරීමට සමත්වුණා. මූලික පරීක්ෂණ වලදී මෙම පරීක්ෂණ ක්‍රමය සාර්ථක යැයි තහවුරු වුණා. ඒ අනුව රෝහල් ගත කළ රෝගියෙකුගේ අවයව පරික්ෂා කිරීම තුළීන් ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමයේදය ඉදිරියේදි රෝහල්වලට හදුන්වා දිය හැකියි.”

මේ දක්වා ක්‍රියාත්මක වු රුධිර පරීක්ෂණය හා හැසිරීමේ වෙනස් කම තුළින් ප්‍රතිකාර කිරීමේ දී යම් ප්‍රමාදයක් සිදුවන නමුත් නව ක්‍රමය තුළින් ශරීරගත වූ විෂ කුමක්දැයි හදුනා ගැනීමෙන් පසු අදාළ ප්‍රතිවිෂ ලබාදීමේ හැකියාව වෛද්‍යරුන් සතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂයන් 105ක් ජීවත්වන අතර  ඉන් උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 15ක් ජීවත්වන්නෙ මුහුදු තීරයේය.

එම සර්පයන් උග්‍ර විෂ වුවත් එම සර්ප දෂ්ඨන හේතුවෙන් රෝහල්ගත වීම් ඉතා විරල බැවින් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ඔවුන්ව එතරම් වැදගත් නොවේ.

ගොඩබිම ජීවත්වන සර්පයන් අතර තෙල් කරවලා, මුතු කරවලා, තිත් පොළගා, නාගයා සහ කුණකටුවා වැනි සතුන් උග්‍ර විෂ සර්පයන් වේ.

මුදු කරවලා උග්‍ර විෂ සහිත වුවත් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කුණකටුවන් දෂ්ඨ කිරීම වාර්තාවන බැවින් මුදු කරවලාට සාපේක්ෂව කුණකටුවා වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් වැදගත් වේ.

වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව ශ්‍රී ලංකාවේ වසරකට සර්ප දෂ්ඨන 40 000කින් පුද්ගල මරණ 200ක් පමණ සිදුවේ. නමුත් කැළණිය විශ්ව විද්‍යාලය සිදුකළ සමාජමය ගවේෂණයක් අනුව වාර්ෂිකව සර්ප දෂ්ඨන 80  000ක් ද ඉන් සිදුවන මරණ සංඛ්‍යාව 400ක් පමණ සිදුවන බව හෙළි වී ඇතැයි ආචාර්ය කළණ මාදූවගේ මහතා කීවේය.

ලොව උග්‍ර විෂ සහිත සර්පයන් දස දෙනා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර සර්ප විෂ සදහා ඕස්ට්‍රේලියාව වඩා වැදගත් රටක් වන බවත් ඒ මහතා කීවේය. වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සර්ප දෂ්ඨන තුන්දහසක් පමණ සිදුවුවත් ඉතා උසස් ප්‍රතිකාර ක්‍රම, ප්‍රවාහන පහසුකම් හා වෛද්‍ය පහසුකම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දෙකක් පමණ වන බව ද ආචාර්ය කළණ මාදූවගේ මහතා වැඩිදුරටත් කීවේය.


3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now