ශ්‍රී ලංකාවේ විශාලතම වේල්ල වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු මත බැද ඇති බඹර වද කපා ඉවත්කිරීම 30 වන දින සිදු කෙරිණි.
මීටර් 122ක උසකින් යුක්තව ආරුක්කු හැඩයෙන් යුතු මෙම වේල්ල ජල ධාරිතාව ඉහළ යන විට යම් ප්‍රමාණයක් ඉදිරියට ගමන් කිරීම නිසා සජීවී වේල්ලක් වශයෙන් හැදින්වේ.
එම සජීවී වේල්ලේ චලනය අධීක්ෂණය කිරීමේ නව ව්‍යාපෘතියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වික්ටෝරියා ජලාශ කාර්යාලය සැලසුම් කර ඇති අතර ඒ සදහා වාන් දොරටු මත බැද ඇති බඹර වද ප්‍රධාන බාධකයක් වී ඇත.
වාන් දොරටු තුනක පහළ ප්‍රදේශයේ බඹර වද හතරක් බැද ඇති අතර දොඹකර ආධාරයෙන් තොරව එම ස්ථානයට කිසිසේත්ම ළගා විය නොහැකි වේ.

ඒ නිසාම බඹර වද කපා ඉවත් කිරීමේ වගකීම බිගු සම්පත සුරැකීමේ සංවිධානය විසින් භාර ගෙන එය ඉටු කිරීම වික්ටෝරියා වේල්ල මතදී සිදුවිය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දොඹකරයක් ආධාරයෙන් තරුණියන් දෙදෙනෙකු ද ඇතුලුව සිව් දෙනෙකු විසින් මෙම වද කපා ඉවත් කිරීම සිදුකරන ලදි. සතුන් කලබලයට පත් නොකර ක්‍රම ක්‍රමයෙන් වද කරා ළංවී මුලින්ම ධූමායනය කොට සතුන් පළවා හරින අතර පසුව ඉතා ප්‍රවේශමෙන් වදය කපා ඉවත් කිරීම මෙහිදී සිදුවිය.

අප මේ කාර්යය කිරීමේදී සතුන් මරණයට පත් කරන්නේ නැහැ. පරිසර සමතුලිතය සදහා මීමැස්සා, බඹරා හා දෙබරා යන සතුන් අවශ්‍ය යැයි බිගු සම්පත සුරැකිමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවසීය.
"මේ නිසා කිසිදු අවස්ථාවක බිගුන් ගිනි තබා විනාශ නොකරන්නැයි ඒ මහතා ඉල්ලා සිටියි. මේ සතුන්ගෙන් මිනිසාට හිරිහැරයක් වන්නේ ඔවුන් කලබලයට පත්වූ විටයි. මේ වන විට අප කිසිදු හිංසාවකින් තොරව ආරක්ෂාකාරී ලෙස සතුන් ඉවත් කිරීමේ කාර්යය කරනවා. මී මැස්සා හා බඹරා මල් පැණි රොන් වලින් ජීවත්වන නමුත් දෙබරා ප්‍රියා කරන්නේ මාංශවලටයි. එම සත්වයා මල් වෙත එන්නේ මල් රොන් ගන්නට නොව මල් කරා පැමිණෙන කුඩා කෘමියන් ආහාරයට ගැනීමටයි. මරණයට පත් නොකර බිගුන් සුරක්ෂිතව ඉවත් කිරීමේ කාර්යය අප සංවිධානය විසින් සිදුකරනවා. ඒ අයුරින්ම අලියන් හා දිවියන් ආරක්ෂා කර ගැනීම සදහා ද යම් සංවිධානයක ඉදිරිපත්වීමක් සුදුසු බවයි මගේ හැගීම. ශ්‍රී ලංකාවේ වන ගහණය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ නිසා බිගුන්ට ජීවත්වීමට හැකි ඉඩ කඩ සීමිතයි. ඒ නිසා ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවා. ඔවුන් තුරන්වීම නිසා මිනිසාගේ පැවැත්මට තර්ජනයක් මතු වනවා." යනුවෙන්ද තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවසීය.
ඉවත් කිරීම නියමිතව තිබුණු බඹර වද වලට අමතරව වෙනත් බඹරුන් පිරිසක් ඇවිස්සී සිටීම හේතුවෙන් වද කපා ඉවත් කිරීම පැය පහක පමණ කාලයක් ප්‍රමාද වුණු නමුත් පසුව මහ වැසි නොතකා එම කාර්යය මණ්ඩලය විසින් පැය දෙකක් වැනි කාලයක් තුළදී වාන් දොරටු මත බැද තිබුණු වද සතර කපා ඉවත් කරන ලදි.

