වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සදහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් ඇතැයි විද්‍යා, පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂය සිය මහජන නියෝජිතයන් වෙනුවෙන් කුමන කොන්දේසි බලපැවැත්වුවද ඒ කිසිවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අදාල නොවන බව හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ඊයේ (02) පැවැති වාර්ෂික පර්යේෂණ සමුලුවෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂධයේ මහ ලේකම් පදවිය භාරගත් පසු පක්ෂ ඉතිහාසයේ පළමුවරට එහි ජන්ද පදනම සියයට තුන දක්වා පහළ වැටුණු බව ද එහිදී අමාත්‍යවරයා සදහන් කළේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
"....ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය කුමක්දැයි විමසීම සදහා අමුතුවෙන් සමීක්ෂණ කළ යුතු නැහැ. කඩමණ්ඩිය, දුම්රිය ස්ථානය, අවමගුල් උත්සවයක් වැනි ඕනෑම ස්ථානයක් හා අවස්ථාවකදී ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය ඉතා පහසුවෙන් හදුනා ගත හැකියි.
මහ බංකු බැදුම්කර වංචාව මුලින්ම හෙළි වන අවස්ථාවේ දී අප සිටියේ විපක්ෂයේයි. ඒ වන විටත් ජනාධිපතිවරයා ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වීමට කමිටුව පත් කළා. අවුරුද්දක පමණ කාලයක් කළ විමර්ශනයෙන් අනතුරුවයි වාර්තාව එළි දැක්වීම කළේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි චෝදනා වලින් බහුතරයක්ම තිබෙන්නේ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්. බැදුම්කර වංචාව නිසා රටේ ආර්ථීක පරිහානිය, මහ බැංකුව පිළිබද විශ්වාසය කඩවීම, විදෙස් ආයෝජන ගැටලු, පොලී අනුපාතික ඉහළයාම ඇතුලු කෙටි කාලීනට විසදිය නොහැකි අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ජනතාව ද අද බරපතල ගැටලු ගණනාවකට මුහුණදී සිටිනවා.
සොරු අල්ලන කාර්යය අධිකරණය සතු වගකීමක් නොවෙයි. සොරු ඇල්ලීම පොලීසිය විසින් කළ යුතුයි. අධිකරණ නඩු විභාගයේදී සාක්ෂි සහිතව ඔප්පුවන වරදකරුවන් සදහා දඩුවම් නියමකිරීම අධිකරණය සතු කාර්යයක්..." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
** SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි

