SKIP TO MAIN CONTENT

සනත් ජයසූරියට වසර ‍දෙකක ක්‍රිකට් තහනමක්

Sanath Jayasuriya
Sanath Jayasuriya Source: AAP Image/ AP Photo/Eranga Jayawardena

2 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු වන සනත් ජයසුරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා හේතු වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීමේ චෝදනාවට සනත් ජයසූරිය වරදකරු වීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කේෂ්ත්‍රයේ වංචා සහ දූෂණ සිදු ව ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර  මේ පිළිබඳව විමර්ශනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකය අවස්ථා කිහිපයකදීම යොදවා තිබුණි.

එවන් පසුබිමකදී 2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ  ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවකට තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් ජයසූරීයගෙන් අවස්ථා දෙකකදී ප්‍රශ්න කරනු ලැබීය.

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සනත් ජයසූරියගේ ජංගම දුරකථනය විමර්ශනය සඳහා භාර දෙන ලෙස කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම ඔහුට චෝදනා එල්ල වීමට හේතු විය.

මෙම ඉල්ලීමට සනත් අවනත නොවීම නිසා ඔහු දූෂණ විරෝධි නීති සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝණය කර ඇති බව සඳහන් කරමින්  2018 ඔක්තෝබර් මස 15 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට ලිපියක් මගින් දන්වා තිබුණි.

පරීක්ෂණ කටයුතු අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ  (26/02) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දූෂණ විමර්ශන ඒකකයේ පරීක්ෂණ සඳහා සනත් ජයසූරීය සහයෝගය ලබා නොදීම හේතුවෙන් ඔහුට වසර දෙකක තහනමක් පැනවීමට තීරණය කළ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ ආකාරයට සනත් කඩ කළ  එක් නීතියක් වූයේ දූෂණ විරෝධි ඒකකය මෙහෙයවූ පරීක්ෂණයට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු හෝ ලේඛන නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි.

සනත් කඩ කළ දෙවන නීතිය ලෙස සඳහන් වූයේ පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම සහ දූෂණ විරෝධි  ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීමයි.

මේ අතර සනත් ජයසූරිය ඊයේ  (26/02) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමගින් සනත් පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය සිදු කළ පරීක්ෂණවල දී තමා සතු සිම් කාඩ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්ෂණ සඳහා ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති අතර දූෂණ චෝදනා, තරග පාව දීම් සහ රහසිගත තොරතුරු අනාවරණය කිරීම් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී නොමැති බවයි.

තමන්  මෙතෙක් තම ක්‍රීඩා ජීවිතය තුළ උපරිම අවංකභාවයෙන් යුතුව කටයුතු කළ බවත් සෑම විටම තමන් රට ප්‍රධාන කර කටයුතු කර ඇති බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now