මිහිමත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන The Great Barrier Reef හෙවත් මහා බාධක කොරල් පරය මිය ගිය බව පසුගිය දිනෙක ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. මෙම පුවතත් සමග පරිසරයට ආදරය කරන්නන් මහත් කම්පාවට පත් වූ අතර දස දෙසින් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලන්නට විය.

එක්සත් රාජධානියේ “The Sun” වෙබ් අඩවියේ Rowan Jacobsen නමැත්තා රචනා කළ පුවතක් අනුව මෙම සිද්ධිය ලොව පුරා විදුලිය වේගයෙන් ගමන කරන්නට විය. Jacobsen ඇත්තටම සඳහන් කර ඇත්තේ “ඉතිහාසයේ අතිශය දරුණුතම සුදු පැහැ ගැන්වීමකට මෙම කොරල් පරය මුහුණ දී ඇති අතර එය නැවත යථා තත්ත්වයට පත් නොවනු ඇත.” කියාය.
නමුත් දැනට ලැබී ඇති නවතම තොරතුරු අනුව ලොව පුරා විද්‍යාඥයන් පවසන්නේ මහා බාධක කොරල් පරය සහ ලොව ඇති අනෙකුත් කොරල් නිර්මාණ අතිශය පීඩනයකට හසුව ඇති බවයි. මෙය බරපතල අසාධ්‍ය තත්ත්වයක පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ නැවත නැවතත් සිතා බැලීමට මෙම සිද්ධිය ඉතා හොඳ කරුණක් බව Georgia Tech ආයතනයේ කොරල් පර පිළිබඳ විශේෂඥ Kim Cobb පවසයි.
සාගර වලට බොර තෙල් මුසු වීම සහ අනෙකුත් අපවිත්‍ර කාරක එක් වීම මගින් සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙසේ ලොව පුරා කොරල් පර සුදු පැහැ ගැන්වෙමින් (මිය යමින්) පවතින බව සඳහන්. මහා බාධක කොරල් පරයේ මේ තත්වය වඩා හොඳින් පෙනෙන්නට ඇත්තේ එහි ඇති විශාලත්වය නිසාය.

මහා බාධක කොරල් පරය පුරාවටම මේ තත්ත්වය බලපා ඇති නමුත් මේ වන විට මිය ගොස් ඇත්තේ හතරෙන් එකක් පමණක් බවද වාර්තා වේ. මහා බාධක කොරල් පරයේ විශාල ප්‍රදේශ මෙම අනතුරින් ආරක්ෂා වෙනු ඇතැයි සමුදුරු විද්‍යාඥයන් අපේක්ෂා කරන අතර දිගු කාලීන උණුසුම් වීම් සහ ඇසිඩ් නිපදවීම් මගින් මේ තත්ත්වය නරක අතට වෙනස් විය හැකි බවද ඔවුන් පවසයි.
මහා බාධක කොරල් පරය
වසර මිලියන 25ක් වයසැති මහා බාධක කොරල් පරය මිහි මත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන අතර එය කිලෝ මීටර් 2250ක් පමණ පුරාවට විහිදී ඇත.
කොරල් දූපත් 900කට වඩා සහ තනි කොරල් පර 2900කට වඩා එක්ව සැදුම්ලත් මහා බාධක කොරල් පරය එක්සත් රාජධානියේ භූමි ප්‍රමාණයටත් වඩා විශාල බව සඳහන්.

මත්ස්‍යයින් විශේෂ 1625කට, මොලුස්කාවන් 3000කට සහ විවිධ තල්මසුන් හා ඩොල්ෆින් මසුන් වර්ග 30කට මෙය නිවහන වී ඇත. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළේ පැතිරී ඇති මෙම කොරල් පරය අභ්‍යවකාශයේ සිට වුවද දැකීමට හැකි වීම විශේෂත්වයකි.

