රට හා ආණ්ඩුව අස්ථාවර තත්ත්වයක් යටතේ ජන ජීවිතය ද අස්ථාවර තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා ආයුධ මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීම වාරණය කිරීම මගින් කටකතා පැතිරීමේ හැකියාවක් පවතින බවත් එහිදී කඩුවක්, මන්නයක් හමුවුණා නොව බෝම්බයක් හමුවුණා යැයි බරපතල ලෙස කටකතා ව්‍යාප්ත විය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනීම සඳහා පසුගියදා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසීය.
කටකතා මගින් සිදුවන හානිය විශාල වන බැවින් අත්අඩංගුවට ගන්නා ආයුධ මාධ්‍ය මගින් පෙන්වීම සුදුසු බව කී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළහ.
"බුද්ධි අංශ ශක්තිමත්ව තිබුණා නම් මෙවැනි දෙයක් සිදුවන්නේ නැහැ. අහවල අහවල් තැනට ප්‍රහාර එල්ල කරනවා යැයි සියලු තොරතුරු ප්‍රමාදයකින් තොරව ලැබී තිබුණා. නමුත් ඒක පිළිබදව කවුරුත් කටයුතු කළේ නැහැ. උඩින් පහළටත්, පහළින් තවත් පහළටත් දාලා එයාලා නිකම්ම සිටියා."
"දරුවන් බිල්ලට දෙන්න බැහැ. පාසල් හා රට තුළ ආරක්ෂාව තහවුරු යැයි ආරක්ෂක අංශ විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන තුරු දරුවන් ආරක්ෂිතයි කියන්නේ කොහොමද? රට ආරක්ෂිත බව ආරක්ෂක අංශවලින් ප්‍රකාශ කළ යුතුයි. එවිට පාසල් විවෘත කළ හැකියි."
ආණ්ඩුව හා රට අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ජනතාව දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මල්වතු - අස්ගිරි මහ නාහිමියන්ද බැහැ දකියි.
මහනුවරට පැමිණි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර් ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි ඇතුලු මහා සංඝරත්නය එම විහාරස්ථාවලදී බැහැ දුටුවේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලබුද්ධි හිමියන් එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මෙසේ සඳහන් කළහ.
"දැන් මේ කරන කටයුත්ත තුවාලය පිරිසිදු නොකර උඩින් බෙහෙත් දමනවා වගේ වැඩක්. යම් යම් දේවල් යට තිබෙනවා. ඒවා මුලිනුපුටා දැමිය යුතුයි. ඒක කරන්නේ නැහැ. උඩින් තෙල් ගෑවත් ගැටලුව යටින් ඒ ආකාරයෙන් ම තිබෙනවා. සුළු ජාතිය නොව ඉදිරියේදී මහ ජාතිය අවදි වෙයි. මහ ජාතිය සෑම විටම නිදාගෙන ඉන්නේ නැහැ. ලක්ෂ ගණනින් මරා දැමුවත් අවදිවන සිංහලයා පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වේවි."
"අද මාධ්‍ය මගින් අත්අඩංගුවට ගන්නා අවි ආයුධ පෙන්වන්නේ නැහැ. මොනවාද තිබුණේ, මොනවාද ගෙනැල්ලා තිබෙන්නේ දැයි ජනතාවට දැන ගන්න විදියක් නැහැ. ළමුන් භය වෙනවා කියලා ඒවා පෙන්වන්න එපාලු. එහෙම නම් හොලිවුඩ් චිත්‍රපඨත් පෙන්වීම නතර කරන්න එපැයි. ඒවායේ ඉතා භයානක ත්‍රස්ත දර්ශන තිබෙනවා."
තුවාලයක් පිරිසිදු නොකර මතුපිටට බෙහෙත් දමනවා මෙන් ක්‍රියාකිරීම මගින් මෙම අර්බුදය යළිත් මතු වන බවත් එය හොදින්ම දන්නා සිංහලයන් ඉදිරියේදී අවදිවුවහෝත් පාලනය කර ගත නොහැකි විනාශයක් නියත වශයෙන්ම සිදුවන බවත් උන්වහන්සේ පැවසුහ.
මේ අතර අන්තවාදය පරදා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලක්ෂ ගණනින් හෝ ඝාතනය කොට සිංහලයා පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලබුද්ධි හිමියෝ සඳහන් කළහ.
රට පාලනය පිළිබදව පාලක පක්ෂය ඇස් ඇර ගන්න ඕනි. ඇස් අරියි ද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. අවබෝධයෙන් යුතුව වැඩ නොකරන්නේ නම් රට විනාශයෙන් විනාශයට පත් වෙනවා යැයි අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලබුද්ධි හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

