සිව්වැනි එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක් (වීඩියෝ සහිතයි)

Sri Lanka Vs South Africa 4th ODI

Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය ඊයේ (අගෝස්තු 8) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අතර, ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව එම තරගයෙන් ලකුණු 3ක ජයක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට ලබාදුන් අතර, එහිදී ශ්‍රී ලංකා ඉනිම අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 39කට සීමා වූ අතර, එහිදී කඩුලු 7ක් දැවී ලකුණු 306ක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමේදී දසුන් ශානක ලකුණු 65ක් වාර්තා කල අතර, තිසර පෙරේරා සහ කුසල් පෙරේරා අර්ධ ශතක වාර්තා කරන්නට සමත්විය.

පසුව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 21ක් තුලදී ලකුණු 191ක ඉලක්කයක් හිමි වූ අතර, එහිදී ඔවුන්ට කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 187ක් පමණි.

ඒ අනුව දෙරට අතර එක් දින තරගාවලියේ අන්ත පරාජයෙන් බේරෙන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර, 1ට 3ක් ලෙස මේ වන විටත් දකුණු අප්‍රිකාව තරගාවලිය ජයගෙන තිබේ.

සිව්වන එක්දින තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පළවුණු අදහස්

ඊයේ (Aug 8) ද.අප්‍රිකාවට එරෙහිව පල්ලකැලේ ක්‍රිඩංගණයේදී පැවැති සිව්වන එක්දින තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වූ තරඟයේ වීරයා බවට පත්වූ දසුන් චානක සහ තිසර පෙරේරා පැවසුයේ කණ්ඩායමට ලබාදීමට හැකිවූ යහපත් ආරම්භය අවසානය දක්වා ගෙන යාමට හැකියාව ලැබුණු බවයි.

එහිදී අදහස් දැක්වූ තිසර පෙරේරා පවසා සිටියේ පිති හරඹයේදී දසුන් චානක සමග ලකුණු 280ක ඉලක්කයක් අපේක්ෂා කළ නමුත් අවසානයේදී පන්දුව වඩාත් හොදින් දර්ශනයවීම නිසා එම ඉලක්කය ලකුණු තුන්සියය දක්වා වර්ධනය කර ගත හැකිවූ බවයි. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම හොදින් පන්දු යවන අවස්ථාවක ලකුණ 100 ක සබදතාවක් ගොඩ නැගීම තරමක් අසීරු යැයි ද කී ඔහු තවදුරටත් මෙසේ කියා සිටියේය.

"...ලංකාවට ලෝක කුසලානයක් ලබාදීම මගේ අපේක්ෂාවක්. මම දක්ෂකම් දක්වන විට එහි වාසිය තිබෙන්නේ අපේ කණ්ඩායමටයි. ඉලක්කයක් ලබා ගනිමින් ඉදිරියට යන විට එහි වාසිය තිබෙන්නේ ද සහයෝගය ලබා ගත යුත්තේ ද කණ්ඩායමින්. පන්දු යවන විට පන්දුව රැකීම සඳහා කණ්ඩායමේ වෙනත් අයෙකු අවශ්‍යයි. ඒ සියල්ල තනිව කරන්න බැහැ. මේ සඳහා කණ්ඩායමේ එකළොස්දෙනාගේ සහයෝගය ලැබෙනවා ..." යයිද තිසර පෙරේරා කීවේය.

තරගයේ වීරයා බවට පත් ක්‍රීඩක දසුන් චානක අදහස් දක්වමින්,

"...මට අවශ්‍ය වුණේ පිතිහරඹයේදී සහයෝගයක් ලබාදීමටයි. තව කෙනෙකු පසුකර යන්න මට අවශ්‍ය වුණේ නැහැ. නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දු යැවීම ලිහිල්වන අවස්ථාවලදී මට හයේ පහරවල් කරා යාමට හැකිවුණා.

කණ්ඩායමක් ලෙස තීරණ ගත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ...යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පස්වන සහ අවසන් එක් දින තරගය අගෝස්තු 12 දා කොළඹදී පැවැත්වීමට නියමිත අතර 14දා දෙරට අතර පැවැත්වෙන එකම 20-20 තරගය පැවැත්වීමට නියමිතයි.

espncricinfo සහ SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලංකා වාර්තාකරු නදීක බණ්ඩාර සැපයූ තොරතුරු ඇසුරිණි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake, Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now