සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලියේ ඊයේ (27/08) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති තුන්වන තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත් කරගැනීමට සමත් විය.
කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 217 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ලහිරු තිරිමාන්න සමත් වූ අතර ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 80 කි.
ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 36 ක්ද මිලින්ද සිරිවර්ධන ලකුණු 29 ක් ද ලබා ගත්තේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රීත් බුම්රා ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳ හෙළීය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට මේ තරගයෙන් ජයගැනීමට ලකුණු 218 ක් ලබා ගත යුතුව තිබුණි.
ඉන්දීය පිළේ මුල් කඩුලු 4 ලකුණු 61 ක්ව තිබියදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ නමුත් පසුව ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා හට එක්වූ මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.
රෝහිත් ශර්මා නොදැවී ලකුණු 124 ක් ලබා ගත් අතර මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 67 ක් ලබා ගත්තේය.
ඉන්දීය පිල ලකුණු 218 ක ඉලක්කයක් හඹා යද්දී තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී නරඹන්නන් බෝතල් ප්‍රහාර එල්ල කරමින් තරගය ට බාධා කිරීම නිසා තරගය අතරමග නැවත්වීමට සිදු විය.
තරගය එසේ නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 කට ලකුණු 210 ක් ලබා සිටියේය.
විනාඩි 20 ක පමණ කාලයක් විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටියත් තත්ත්වය පාලනය නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
පසුව කැරළි මර්දන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තත්ත්වය සමනය කිරීමෙන් අනතුරුව තරගය නැවතත් ආරම්භ කළේය.
තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රීත් බුම්රා හට හිමි විය.
මේ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලිය ඉන්දියාව 3-0 ක් ලෙස මේ වන විටත් ජයගෙන තිබේ.

