Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කරන බව ශ්‍රී ලංකා අගමැති රනිල් ගෙන් ජනතාවට පොරොන්දුවක්

Ranil Wickramasinghe

- PM - Sri Lanka Source: SBS Sinhala

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක  හිමාපාණන් වහන්සේ දෙනමගේ අනුශාසනා ලබා ගනිමින්  ප්‍රතිසංස්කරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයාගේ  දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කීය.

හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් ඉදිකරන ලද රන් වියන මේ වන විට ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත් එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ මහතා  ප්‍රකාශ කළේය.

දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසු හානිවූ රන් වියන 2001 වසරේදී ප්‍රතිසංස්කරණය කළේද රනිල්  වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හොබවමින් සිටියදී ය.

ලුම්බිණියේ හා කපිලවස්තු පුරයේ නේපාල රජය සිදුකරනු ලබන පුරා විද්‍යාත්මක  කැනීම් සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියනක් ලබා දෙන බවද අගමැතිවරයා කීය.

දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාව අභියස රැස්ව සිටි ජනතාව හමුවට ගිය අගමැතිවරයා ඔවුන් සමඟ සුහඳව කතාබස් කරමින් මහනුවර නගරය තුළ යෝධ සංවර්ධනයක් ඉදිරියේදී සිදුකරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

පසුගිය රජය සමයේ වංචා දූෂණ සිදුකළ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද  ඇයිද යන්න මෙම ජනතාව අගමැතිවරයා ගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා පැවසුවේ ඒ කිසිවකුටත් නීතියෙන් ගැලවීයා නොහැකි බවයි. මේවන විටත් වංචා සිද්ධීන් 80 කට අදාළ නීතිමය කටයුතු අවසන් වෙමින් තිබෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. එසේම මහනුවර -  කොළඹ අධිවේගි මාර්ගයේ වැඩකටයුතු ද කඩිනමින් අවසන් කරන බව මෙහිදී රනිල්  වික්‍රමසිංහ මහතා ජනතාව හමුවේ පැවසුවේය.


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now