කඩාවැටුණු ආර්ථිකය ගොඩගෙන ස්ථිරසාර සංවර්ධනයක් ඇති කිරීම සදහා වසර පහක ආණ්ඩුවක් නොව වසර විස්සක ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සදහා පුහුණු කරන ලද නායකයන් කිහිපදෙනෙකු සිටියත් ඔවුන් අද ජීවතුන් අතර නොමැති නිසා නව නායකත්ව මණ්ඩලයක් පිහිටුවන බවත් ඒ අනුව නව නායකයන්ට පක්ෂය ඉදිරියට රැගෙනයාමට අවස්ථාව හිමිවන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගී වෙමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කම්කරු ජනතාවගේ අතට වැඩි වැඩියෙන් මුදල් ලැබී ඇති බවත් ඒ අනුව ඔවුන්ට මේ වන විට මධ්‍යම පංතියට ඇතුල්වීමට අවස්ථාව හිමිවී ඇතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"කම්කරුවන්ට ආදායම් ලැබෙනවා පමණක් නොව ඔවුන් වෙනුවෙන් නිවාස පවා ඉදිකර දී තිබෙනවා. බලයට පත් ආණ්ඩුවට ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුවුණා. 2014දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය පොළිය ගෙවීමටවත් හැකියාව තිබුණේ නැහැ. නමුත් ඒ ණය වල අසීරුතම කාලය වන 2018 හා 2019 ණය ගෙවීම මේ වන විට සාර්ථිකව සිදුකරමින් යනවා. මේ වන විට හම්බන්තොට වරායේ ණය ගෙවා අවසන්. ගං වතුර, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම වැනි ස්වාභාවික විපත් ආවා. නියගය නිසා කෘෂි නිෂ්පාදන අඩුවුණා. බඩුමිල ඉහළ ගියා. පොහොර හිගයක් මතුවුණා. මේ නිසා අපේ පාක්ෂිකයන්ට පවා ජනතාවගෙන් බැනුම් ඇසීමට සිදුවුණා. ආණ්ඩුව වශයෙන් මේ පිළිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර සමාව ඉල්ලා සිටීමට අප සූදානම්. පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති ඡන්දයෙන් අප පරාජයට පත්වුණා. නමුත් ඒ ඡන්දය ඉකුත් වසරේ මැයි මස පැවැත්වුණා නම් අපට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිව තිබුණා. අපිට අවාසනාවන්ත කාලයක් ආවා. අවශ්‍ය නම් ඡන්දය එක් දිනයේ පැවැත්වීමට තිබුණා. අප බලයට පත්ව සිටියත් අපට තවම ගැටලු තිබෙනවා. අපේ පාක්ෂිකයන්ගේ පළිගැනීම් තිබෙනවා. පාක්ෂිකයන්ගේ සමහර බලාපොරොත්තු ඉටුවී නැහැ. රැකියා ලබාදී නැහැ. මන්ත්‍රීවරු තවත් බලාත්මක කළ යුතුයි. ඒ සදහා දේශපාලනයේ දිවීම දැන් ආරම්භ කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය පසුබිම මම හැදුවා. ඒ සදහා මම දුන් පොරොන්දුවක් අනුව නව නායකයන් පත් කළ යුතුයි. ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙනවා." අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු මැතිඇමතිවරුන් හා පක්ෂිකයන් ක්‍රීයාකාරීන් විශාල පිරිසක් මෙම මැයි දින රැළිය සදහා සහභාගී වී සිටියහ.
වීඩියෝ දර්ශන අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනිය

