SKIP TO MAIN CONTENT

පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කොට ගැටළු විසඳන්න : මල්වතු මහනායක හිමියන් ජනපතිට ලිඛිතව දන්වයි.

Malwathu mahanayaka himi_President Maithripala Sirisena
Malwathu mahanayaka himi_President Maithripala Sirisena

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පවතින දැඩි අර්බුදකාරි තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව රැස් කොට කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ තවදුරටත් එහි මෙසේ ද සදහන් කර තිබේ.

".....පසුගියදා නව අගමැතිවරයකු පත් කිරීමත්, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් පිළිබද පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම පිරිස් හා විවිධ දේශපාලනික මත දරණ කණ්ඩායම් මෙන්ම රට වැසියන් හා දෙස් විදෙස් පාර්ශවයම ද මේ වන විට රට පත්ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳව විවිධ මත දරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

රටේ ආර්ථිකමය, සමාජමය, දේශපාලනමය මෙන්ම ආගමික වශයෙන් මෙලෙස දිනෙන් දින පිරිහීම තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව පැහැදිලි සත්‍යයකි. මේ වන විට රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තුව ආදී සියලු තැන්හි කටයුතු මෙන්ම සාමාන්‍ය ජනජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදයන්ද සම්පූර්ණයෙන්ම බිද බිද වැටී ඇත.

එවන් පසුබිමක රටේ පළමු පුරවැසියා වශයෙන් ඔබතුමාට දේශපාලනික වශයෙන් ඇති සුජාතභාවයක් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස පවත්වා ගෙන යා යුතුව ඇති බව අපගේ හැඟීමයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම තුළින් මේ රටේ දැනට පවතින දැඩි අර්බුධකාරී තත්වය සමනය කොට ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත කරමින් ස්ථිරසාර රටක් ඇති කිරීමට නිසි පියවර ගතයුතු මොහොතකට රට පත්ව ඇති බවද පෙනීයයි.

එහෙයින් පවතින දැඩි අර්බුධකාරී තත්වය හමුවේ ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් පාර්ලිමේන්තුව රැස් කොට මේ පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව අපගේ හැඟීමයි. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වත්, දේශපාලනික සදාචාරාත්මක භාවයත් ආරක්ෂා කරගනිමින් සුදුසු නිසි පියවරක් ගැනීමට හැකිවේයැයි අප විශ්වාස කරමු. ඒ තුළින් රටේ සියලුම අංශයන්ගේ බිඳවැටීම නවතාලිය හැකිවා සේම පොදු මහජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කර ගත හැකි බව කරුණාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරමි....."

Malwathu mahanayaka himi_President Maithripala Sirisena
Malwathu chapter Sumangala tero sent a letter to president Maithripala Sirisena

** SBS වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට සැපයූ තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now