කොටි සංවිධානයේ වැළලී ගිය රහස් හෙළි කරමින් හිටපු LTTE සාමාජිකාවන්ගෙන් එක දිගට පොත් පෙළක් (SBS සිංහල/ වාර්තා)

“මම එහෙම හිතුවේ LTTE සංවිධානයෙන් මම ලබපු කටුක අත්දැකීම් වල වේදනාවෙන් මිදෙන්න. LTTE සංවිධානයට සම්බන්ධ වූ තවත් තරුණ පිරිස් බොහෝ ප්‍රමාණයක් අදටත් සමාජයේ සිටිනවා. ඔවුන්ට සමාජයෙන් සහ රජයෙන් නිවැරදි මග පෙන්වීම් අවශ්‍යයි. එසේ නොවුනහොත් ඔවුන් නැවතත් වැරදි පාරවල් තෝරා ගන්නවා නිසැකයි.” රාතිකා අවසාන වශයෙන් පැවසුවාය.

Ex-LTTE members increasingly taking to writing

Source: Daily News

ඉකුත් 2009 වසරේ මැයි 18 වන දින නිමාව දුටු තිස් වසරක යුද්ධය පිළිබඳ තම මතක ග්‍රන්ථ රචනා මගින් ආවර්ජනය කරන්නට පසුගිය කාලයේ ඇතැම් හිටපු LTTE සාමාජිකයින් උත්සාහ දරා තිබේ. ගෙවී ගිය මාස කිහිපය ඇතුලත හිටපු LTTE සාමාජිකයින් තිදෙනෙකු මෙසේ තම ග්‍රන්ථ එළි දක්වා තිබෙන අතර එම තිදෙනාම කාන්තාවන් වීම සුවිශේෂී කරුණකි.

මීට දින කිහිපයකට පෙරාතුව, මාස 9ක් 10ක් අතර පමණ වූ ඉතා කෙටි කාල වකවානුවක  LTTE සංවිධානයට සම්බන්ධ වී සිටි  හිටපු LTTE සාමාජිකාවක් වූ  24 හැවිරිදි රාතිකා පත්මනාදන් විසින් පද්‍ය සහ කතාන්දර රැගත් ග්‍රන්ථයක් එළි දක්වනු ලැබීය. මෙහි දමිළ මෙන්ම සිංහල පිටපතද එළි දැක්වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය මෙන්ම ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ සභාපති වාසුදේව නානායක්කාර මහතාද සහභාගී වුයෝය.

Rathika with former President Chandrika Bandaranaike Kumaratunga
Rathika with former President Chandrika Bandaranaike Kumaratunga Source: Daily News

සය මසකට පෙර තවත් හිටපු LTTE සාමාජිකාවක් වන සුබ්‍රමනියම් සිවාගාමී නොහොත් LTTE සංවිධානයේ කාන්තා බලකායේ ප්‍රධානී කර්නල් තමිලිනි ගේ ජීවිත කතාව රැගත් ග්‍රන්ථයක්ද එළි දැක්විණි. මීට මාස 10කට පමණ පෙර ඇය පිළිකා රෝගයෙන් පෙළී ජීවිතක්ෂයට පත් විය. එම ග්‍රන්ථයේ සිංහල පිටපත එළි දක්වා ඇති අතර ඉංග්‍රීසී පිටපත නුදුරේදීම එළි දැක්වීමට යන බව වාර්තා වේ. පසුගිය මාසයේ තවත් හිටපු LTTE සාමාජිකාවකගේ ග්‍රන්ථයක්ද කොළඹදී එළි දැක්විණි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක දේශපාලනික වැඩපිළිවෙල මෙම ප්‍රවණතාවට මූලික වශයෙන් බලපා ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

රාතිකාගේ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය සිදු කළ එස්. සිවගුරුනාදන් පවසන්නේ 2015 වසරේ ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලනික පෙරළිය හේතුවෙන් ජනතාට තමන්ගේ මත ප්‍රකාශ කිරීමට නිදහස ලැබුණු බවයි. LTTE සංවිධානයේ හිටපු සාමාජිකාවක් වූ කර්නල් තමිලිනිගේ ග්‍රන්ථයේ සිංහල පිටපතෙහි මුද්‍රණ හතක් සිදු කිරීමට ලැබීම මෙම තත්ත්වය මනාව පිළිබිඹු වන බවද ඔහු පවසයි. මීට අමතරව නිමාවූ යුද්ධයේදී සිදුවූ දේවල් දැනගැනීමට බොහෝ සිංහල ජනතාව මහත් උනන්දුවක් දක්වන බවද මින් පෙනී යන බවද ඔහු වැඩි දුරටත් පවසයි.

කෙසේ නමුත් LTTE සංවිධානය හෝ එහි නායක ප්‍රභාකරන් පිළිබඳ සිදු කරන විවේචන නුරුස්නා බොහෝ ශ්‍රී ලාංකික දමිළ ජනතාව අදටත් සැළකිය යුතු ප්‍රමාණයක් සිටින බව තමාට හැඟෙන බවද  එස්. සිවගුරුනාදන් පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන වී. තනබාලසිංහම් පවසන පරිදි මෙම ප්‍රවනතාව හරහා ස්වයං විවේචන සිදු කිරීමක් සිදු වන බව පෙනෙයි. ඉහත ග්‍රන්ථ හරහා LTTE සංවිධානය හා  එහි නායක ප්‍රභාකරන් පිළිබඳ තමන් දරණ විසංවාදී මත තමන්ට අත්දකින්නට වූ කටුක අත්දැකීම් සමග ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. නමුත් LTTE නායකත්වය යටතේ හෝ එම සංවිධානයේ නීති අනුව මෙම පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා වී තිබූ බව පෙනී යන බවද තනබාලසිංහම් පෙන්වා දෙයි.

රාතිකා පත්මනාදන් 2008 – 2009 කාලය ඇතුලත LTTE සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගත් තැනැත්තියකි. ඇය පවසන්නේ යුද්ධයේදී ඇගේ කකුලකට තුවාල සිදුවී ඇයව කොළඹ රෝහලට ගෙන එන අවස්ථාවේ ඇගේ අත්දැකීම් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමට ඇය අධිෂ්ඨාන කරගත් බවයි.

“මම එහෙම හිතුවේ LTTE  සංවිධානයෙන් මම ලබපු කටුක අත්දැකීම් වල වේදනාවෙන් මිදෙන්න. LTTE සංවිධානයට සම්බන්ධ වූ තවත් තරුණ පිරිස් බොහෝ ප්‍රමාණයක් අදටත් සමාජයේ සිටිනවා. ඔවුන්ට සමාජයෙන් සහ රජයෙන් නිවැරදි මග පෙන්වීම් අවශ්‍යයි. එසේ නොවුනහොත් ඔවුන් නැවතත් වැරදි පාරවල් තෝරා ගන්නවා නිසැකයි.” රාතිකා අවසාන වශයෙන් පැවසුවාය.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Hindu



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now