SKIP TO MAIN CONTENT

ප්‍රධාන පක්ෂ තුනම තනි පුද්ගලයෙකුට පැරදුණු ඓතිහාසික අවස්ථාවක් මේක : කෙහෙළිය රඹුක්වැල්ල.

LG Polls in Sri Lanka 2018
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් එක් පුද්ගලයෙකුට පරාජය වූ ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය හැදින්විය හැකි යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බිදි වෙන්වූ පසු තමන්ට නිසැකවම ජය ලැබිය හැකි යැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කර සිටියත් එය ඒ අයුරින් සිදු කිරීමට තරම් ඡන්ද දායකයන් අනුවණ පුද්ගලයන් නොවන බව ඊයේ (11/02) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

වසර 70, 68 හා වසර 65ක් පැරණි දේශපාලන  පක්ෂ තුනක් අභිභවා ඒකාබද්ධ විපක්ෂය බලය ලබා ගත් බවත් ජනතාවට රටේ පැරණි දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති එපා වී ඇතැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“වර්ෂ 2015 ජනවාරි මස 08 වන දින යහපාලන ආණ්ඩුවක් බලයට පත් කරමින් සිදුකළ වරද නිවරැදි කිරීමට ජනතාව ක්‍රියා කළා.  මේ අණ්ඩුව පත්වූ පසු ආණ්ඩුව ක්‍රියා කළේ වෛරයෙන් යුක්තවයි. තමන්ට සහනයක් නොලැබෙන නිසා මහින්ද රාජපක්ෂ අවුරුදු 09ක් පාලනය හා වත්මන් ආණ්ඩුවේ අවුරුදු 03ක පාලනය සසදා බැලීමට ජනතාව ක්‍රියා කළා. ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා ගොවියන්ට පොහොර සහනාධාර අහිමිවීම, පාසල් දරුවන්ට නිල ඇදුම් සදහා රෙදි, පෙළපොත් ලැබීම සැකසහිත වීම, බැංකු මුදල් වංචා, භාණ්ඩ මිල දරා ගත නොහැකිව ඉහළ යාම වැනි මහජන පීඩාවන් රැසක් එල්ල වුණා. ඒ සියල්ල නිසා පීඩාවට පත් ජනතාව සිය දුක කීමට කෙනෙකු නොමැතිව සිටි අතරේ තමයි මේ තීන්දුව ගත්තේ. එක්සත් ජාතික පක්ෂය පවා විශ්වාස කළේ තමන්ට ඉතා පහසුවෙන් බලය ලබා ගත හැකි වෙයි කියායි. නමුත් 29 වතාවක් මැතිවරණ පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා තිස්වන වතාවටත් පරාජය කර ඔහුට මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි බව ඔප්පු කර පෙන්වීමට අපට හැකිවුණා.”

සිය නායකත්වය තව දුරටත් පක්ෂයේ තබා ගත යුතු ද නැත්නම් ඒ සදහා සුදුසු අයෙකු පත් කර ගැනීමට කටයුතු කළ යුතු ද යන්න මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් තීරණය කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now