SKIP TO MAIN CONTENT

හදිසි නීතිය අතරේ කුසල් ගේ පිත්ත ලංකාවට ජය ගෙනෙයි.

Nidahas Trophy 2018
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී  ලංකාවේ 70 වැනි නිදහස් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06/03) දිනයේ පැවති ප්‍රථම තරගයෙන්  ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව කඩුලු 5 ක ජයක් අත් කරගත්තේය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව විසින් දිනාගත් අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් ඉන්දීය පිළට ආරාධනා කළේය.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 කට ලකුණු 174 ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය පිළ වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබා ගත්තේය.

ශතකයට ලකුණු 10 ක් අඩුවෙන් දැවීයාම හේතුවෙන් සිය මංගල 20-20 ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ශිකර් ධවාන්ගෙන් ගිලිහී ගියද 20-20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්විය. 

ජයග්‍රහණය සදහා ලකුණු 175 ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව පන්දු 9 ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට සමත්වූ අතර අවසන් මොහොතේ වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ තිසර පෙරේරා පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පිළේ පළමු  කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී යාමත් සමග පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 37 කදී අගනා ලකුණු 66 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කුසල් ගේ ඉනිමට හතරේ පහරවල් 6 ක් සහ 6 පහරවල් 4 ක් ඇතුළත් විය.

තරගයේ වීරයා සම්මානය ද කුසල් ජනිත්ට හිමි විය.

මේ අනුව ඉන්දියාව හමුවේ නොකඩවා  20-20  තරග 7 ක් පරාජයට පත්වී සිටි ශ්‍රී ලංකාව ඊයේ ලැබූ ජයත් සමගින් පරාජයන් වැලකට තිත තබන්නට සමත් විය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිට දින 10 ක් ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරකෂාවට පොලිස් නිලධාරීන් 1000 ක් යෙදවූ බවද ශ්‍රී ලංකා පොලීසිය පැවසීය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now