සත්ව ගොවිපොළ ඇතුළු ඔස්ට්‍රේලියාවේ කෘෂි ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ සමාගම් සතුව පවතින බව නවතම “farm register” නොහොත් ඔස්ට්‍රේලියානු ගොවිපොළ ලේඛනය අනාවරණය කරන බව වැඩ බලන අග්‍රාමාත්‍ය Barnaby Joyce අද (07/09) ප්‍රකාශ කර තිබේ. නමුත් එම තත්වය හානිකර නොවන බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සම්පාදනය කළ මෙම ලේඛනයට අනුව ඔස්ට්‍රේලියාවේ කෘෂි ඉඩම් වලින් 13.6%ක හිමිකාරිත්වය පවතින්නේ විදේශීය සමාගම් වලටය. එම විදේශීය රටවල අතරින් ලැයිස්තුවේ ප්‍රථමයෙන්ම සිටින්නේ එක්සත් රාජධානිය බවද අනාවරණය වී තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ ආයෝජකයන් හට ඔස්ට්‍රේලියානු කෘෂි සහ ගොවිපොළ ඉඩම් වලින් හෙක්ටයාර මිලියන 27.5ක් හිමි බව සඳහන්.
මෙම ලේඛනයට අනුව එම ලැයිස්තුවේ දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන ඇමෙරිකා එක්සත් ජනපදයට, නෙදර්ලන්තයට සහ සිංගප්පූරුවට හිමිව ඇති අතර චීනයට හිමිව ඇත්තේ පස් වන ස්ථානයයි.
මේ අතර භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පෙන්වා දෙන්නේ තවමත් මෙරට කෘෂි සහ ගොවිපොළ ඉඩම් වලින් 85%ක්ම ඕස්ට්‍රේලියානුවන් සතුව පවතින බවත් චීන ආයෝජකයන් හට හිමිව ඇත්තේ 0.5%කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. ඔහුට අනුව ඉතිහාසයේ විශාලතම කෘෂි සහ ගොවිපොළ ඉඩම් විකුණුම අනුමත කර ඇත්තේ නෙදර්ලන්ත සහ කැනේඩියානු ආයෝජකයන් හටය.
භාණ්ඩාගාරික අමාත්‍යවරයා මෙම නවතම ලේඛනය යොදාගනිමින් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ ඔස්ට්‍රේලියාවට විදේශීය ආයෝජන වල තිබෙන වැදගත් කම සහ ඒවා නොසලකා හැරීමෙන් අනාගතයේ ඇතිවිය හැකි අවධානම් තත්ත්ව පිළිබඳ බව කියවේ.
නමුත් වැඩබලන අගමැති Barnaby Joyce පවසන්නේ මෙම ලේඛනයට අනුව විදේශීය සමාගම් සතු ඉඩම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස බරපතල බවය. කෘෂි ඉඩම්වලින් හෙක්ටයාර මිලියන 52ක් විදේශීය සමාගම් සතුව පවතින බවත් එම භූමි ප්‍රමාණය වික්ටෝරියානු ප්‍රාන්තය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.
දේශපාලකයන් වශයෙන් අපගේ කාර්යභාරය ඔස්ට්‍රේලියානුවන් හට ප්‍රතිලාභ සැලසීම බව Barnaby Joyce වැඩි දුරටත් පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු කෘෂි සහ ගොවිපොළ ඉඩම් හිමි ප්‍රමුඛතම විදේශීය රටවල් (භූමි ප්‍රමාණය අනුව)
1. එක්සත් රාජධානිය
2. ඇමෙරිකා එක්සත් ජනපදය
3. නෙදර්ලන්තය
4. සිංගප්පූරුව
5. චීනය
6. පිලිපීනය
7. ස්විට්සර්ලන්තය
8. ජර්සි
9. ඉන්දුනීසියාව
10. ජපානය

