SKIP TO MAIN CONTENT

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ SAITM යෝජනා ප්‍රතික්ෂේප කරයි.

GMOA refused Govt. suggestions on SAITM.
Source: SAITM

2 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) පිළිබඳ ප්‍රශ්නය විසඳීමට රජය විසින් ගෙන එන ලද යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

රජයේ එම යෝජනාවල පිටපතක් තවමත් ලැබී නැතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගන්නා බව පසුගිය සිකුරාදා (07/04) සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

SAITM සිසුන්ට වෛද්‍ය සභාවේ විභාගයකට පෙනී සිටීමට සිදුවන බවත්, හෝමාගම සහ අවිස්සාවේල්ල රජයේ රෝහල් වල සායනික පුහුණුව ලැබෙන බවත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කරන බවත් පසුගිය සිකුරාදා නිවේදනය කෙරිණ. 

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයට දෙන විසඳුම තමන් විසින් බලධාරීන්ට ලබාදුන් කරුණු පහක් සහිත ලියවිල්ලට අනුව සිදුවිය යුතුයැයිද  වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

එම ලියවිල්ල සකස් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සියලුම වෛද්‍ය විද්‍යාල පීඨාධිපතිවරුන් හා ආචාර්යවරුන්ගේ සංගම් එක්ව ගත් තීරණ අනුවය.

එම යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර මේ ගැටළුව අධ්‍යනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සඳහා කමිටුවක්ද පත් කෙරිණ.

SAITM ආයතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම නතර කරන ලෙසත්, එම ආයතනයේ උපාධි ප්‍රදානය කිරීමේ බලය අහෝසි කරන ලෙසත් හා සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට සුදුසු විසඳුමක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ සඳහන් වේ.

SAITM ආයතනය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට රජය ගෙන ආ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරයේ ප්‍රතික්ෂේප කරන අතරම රජයේ  ඉලක්කය විය යුත්තේ සයිටම් ආයතනය රජයට පවරාගැනීම බවත් එම ලියවිල්ලෙන් අවධාරණය කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now